Monday, March 23, 2015

ඉන්දරේ ගේ ප්‍රථම ප්‍රේම ( දුත මෙහෙවර )




Image result for love messenger

එකල ඉන්දරේ ලා වයස 15 වගේ පැඟිරි කොල්ලන්ය..මේ කතාවේ කතා නායක මගේ සුමිතුරු සාමන්තයා ඇතුළු බොහොමයක් අකුරු කලේ පිරිමි පාසල් වලය. ඇටෙන් පොත්තෙන් එලියට එන කොට ටියුෂන් පන්ති වල දකින ලස්සන ලස්සන කෙලි පැටික්කියන් උන් දැක්කේ අඟහරු ලෝකෙන් ආපු අමුතු සත්තු වගේය. හැබැයි ඉතින් ප්‍රාථමික පාසල් අවධියේ පටන් කෙලි යහළුවන්ගෙන් අඩුවක් නොවූ ඉන්දරේට නම් ඉලව් ලව් පිස්සුවක් තිබුනේ නැතත් උන්ගේ ආශ්‍රයේ අඩුවක් ලොවෙත් තිබුනේ නැත. මේ අල්ල පනල්ලේ තමයි සාමන්තයාට ටියුෂන් පන්තියක හම්බ උන, මගේ හොඳම බොක්කක් උන, "මාලිකා" කියන කෙලි පැටික්කිය ගැන මෙව්වා මෙව්වා  ෆීලින්ග් එකක් මෝදු වෙන්ඩ පටන් ගත්තේ. ඌටත් ඉතින් පිට සක්වල ජීවියෙක්ට ලව්  කරන එකේ පොඩි ලල් එකක්  තියනවා කියලා සිතෙන්නට ඇත.


 තමන්ට හෙන ගහල ගියත් යාළුවන්ට බොක්ක  දෙන මෝඩ පුරුද්ද ඉන්දරේට තිබ්බේ පොඩි කාලේ ඉඳලමයි. ඔන්න ඉතින් සාමන්තයගේ ලව් සිහිනය යථාර්තයක් කිරීමේ බර කරට අරගෙන ගැහුවා ආයෙත් ලොවෙත් නැති ප්ලෑනක්. පළමු පියවර වුනේ සාමන්තයාගේ හදවත දිය කරලා හදපු තීන්තෙන් ලව් ඉලව් එකී මෙකි සියලු හැඟීම් වචන ගත කරලා ලියුමක් ලියවීමයි. හැබැයි ඉතින්  ලියෙව්වට පස්සේ තමයි තේරුනේ අමාරු ලියුම දී ගන්න එක කියල. ඒකටත් ගැටයක් ගහපු ඉන්දරේ බදාදා හවස විද්‍යා පන්ති ඉවර වෙලා හම්බ වුනා මාලිකාව. "මාලිකෝ ...අන්න අර සාමන්තයා ඔයාගේ පොත ඉල්ලනවා නෝට්ස් වගයක් ලියා ගන්න. සෙනසුරාදා ගණන් පන්තියේදී අපහු දෙයි .." ඉල්ලුවේ මම නේ.. කෙල්ලත් පොත දුන්න දෙපාරක් හිතන්නේ නැතිව ...


ඔන්න ඉතින් ,,,ඒ  අයිතිහාසික ශනිදාව උදා  උනා.. සාමන්තයගේ ආත්මයම කැටි කරපු ලියුම් කරදහිය පොත අස්සේ දාලා , මම පොත ආපහු දුන්නා ... පොත දෙන කොට මාලිකා හිටියේ ඒකිගේ හොඳම ෆ්රෙන්තා චාන්දනී එක්ක.. උන් දෙන්න ඉගෙන ගත්තේ එකම ඉස්කෝලේ ... පොත දීල තප්පරයක් ගියේ නෑ ... කෙල්ලගේ කටින් පිට  වෙච්ච වචන මට ඇහුනේ නිකන් සුනාමියක් වගේ ... "චාන්දනී ... ඔයාටත් විද්‍යා පොත ඕනි කිව්වා නේද ..ආ මෙන්න .. අද ගෙනිහින් හෙට ඉස්කෝලෙට අරන් එන්න .."


ඔන්න දැන් සාමන්තයගේ ලියුම දාපු පොත චාන්දනී ගාව ... මොකෝ උදුරන්න කියල යැ ...

දැන් වගේ කොලෙස්ටරෝල් ...ප්‍රෙෂර් ..ඒ කාලේ තිබ්බ නම් එහෙම ඇටෑක් එකක් ඇවිල්ල , කෙල්ලෝ දෙන්න ඉස්සරහම ඒ වෙලාවෙම සෙත්ත පෝච්චි වෙනවා ෂුවර් එකටම ...


සිද්ධිය දැන ගත්තා විතරයි සාමන්තය පරල උනා. "යකෝ ..ඔයිට වඩා  හොඳයි මාව මැරුව නම් ..තෝ වගේ ගොන් හරකෙක්. තොට තිබ්බනේ මාලිකාට පොත දෙද්දී ලියුම ගැන කියන්න "... බැනුම් කෝටියයි... එච්චර කල් උගේ තැටියේ තිබ්බේ "ඉන්දරේ .. උඹ නම් මගේම සහෝ කෙනෙක් ..උඹ නැත්තම් මම මේවා කොහොම කර ගන්නද ..." කියල. ලෝකේ හැටි එහෙමය..හරි යනකල් හොඳය ,,,වරදින කොට ,,ලොවෙත් නැති  වෙන්න සොරි වෙනවාය...


දැන් ඉතින් හිටපල්ලකො ඊළඟ සතියේ බදාදා විද්‍යාව පන්තිය වෙනකල් , උනේ මොකක්ද කියල දැන ගන්න... මොකෝ දැන් කාලේ වගේ sms  එකක් දාන්න  කියලද... බුකියේ චැට් එකක් දාන්න කියලද ... එහෙම නැත්තම් වයිබර් හරි ස්කයිප් පාරක් දාන්න කියලද ...ඔන්න ඉතින් කල්ප කාලාන්තරයක් ගෙවිලා ඊළඟ බදාදා උන කියමුකෝ. 


මාලිකා කිව්වා සාමන්තට  කතා කරන්න ඕනි කියල. චාන්දනී ත් ළඟ. මම ගිහින් සාමන්තයව ඇද ගෙන ආවා. "සාමන්ත , ඔයා හොඳ ළමයෙක්.. මට ඔයා ගැන අකමැත්තක් නෑ .. ඒත් මේ කාලේ අපි හිතන්න ඕනි ඉගෙන ගන්න එක ගැනයි ... මේ දේවල් ගැන හිතන්න අපිට තව ගොඩක් කල් තියනවා ...චාන්දනී ත් මේ සිද්දිය රහසක් විදිහට තියා ගනියි ... අපි ඔක්කොම හොඳ යාලුවෝ වගේ ඉම්මු " කෙල්ල හැන්ඩ්ල් කළා සිද්දිය ආයේ ලොවෙත් නැති සිරාම සිරා විදිහට. පනිවිඩෙත් පාස් වෙලා ...කොල්ල ගේ හිත රිදිලත් නෑ  ...


 ඔන්න දැන් අපි හතර දෙනාම හොඳ යාලුවෝ.. කාලේ ගත වෙලා O /L විභාගෙත් ලිව්වා..දැන් ඔන්න පන්ති වලින් ට්‍රිප් යනවා..ලෝකේ පටන් ගත්ත කාලේ ඉඳල හිටපු ඉරිසියාකාරයෝ ඒ කාලේ අපි අතරත් හිටිය. එහෙම එකෙක් මාලිකාගේ අම්මට දීල ගින්න, " මාලිකා සාමන්තයා එක්ක සෙට්. ඉන්දරේ තමයි කපු කම කරලා තියෙන්නේ" කියල . ඔන්න ඇන්ටි (මාලිකාගේ අම්ම) නිකුත් කලා රතු නිවේදනය.. ජාත්‍යන්තර පොලිසියේ වැඩ කරපු අපේ ටියුෂන් සර් ල මිස් ල හරහා. කවුරු නැතත් මං දන්නවා ඇන්ටි ගැන. නීතිඥයෝ හොය හොයා ඉන්න වෙලාවක් නෑ .. සාමන්ත්යාවත් ඇදගෙන ගියා කැමැත්තෙන්ම බාර වෙන්න.


"ආ ඉන්දරේ .. මේ සාමන්ත වෙන්න ඇති. හොඳ වෙලාවට ආවේ. නැත්තම් හෙට මම සාමන්තගේ අම්ම හම්බ වෙන්න යන්න හිටියේ. දන්නවද මම ගිහින් අහන්න හිටියේ මොකක්ද කියල..මම ගිහින් අහන්න හිටියේ.. සාමන්තගේ තාත්තා , අම්මව කසාද බැන්දේ වයස කීයෙන්ද ? අන්න ඔහේගේ පුතා නම් වයස 16 දීම මගේ කෙල්ලව අරන් ගිහින් පවුල් කන්නයි ලෑස්තිය " කියලා ...

කොහොමද ඒක .. ඔන්න ඇන්ටි අපිව මල් මාල දාලා පිලි ගත්ත විදිහ.  ගහපු පදේකුත් නෑ . බෙරේ පලු දෙකමත් නෑ  කියන්නේ ඕකට තමයි. අපිත් ඉතින් අහගෙන හිටිය නේද ඇන්ටිගේ පෝදා ධර්ම දේශනය ...සාමන්තයා දකුණු කකුලේ මාපට ඇඟිල්ලෙන් සාලේ මැද්දේ සිමෙන්තියේ වගා ලිඳක් හාරන්න ට්‍රයි කරනවා .. චන්ඩිය උනාට මොකද , මාත් හිටියේ වහලේ තැන තැන බැඳලා  තිබ්බ මකුළු දැල් වල පැටලුනු පොඩි පොඩි සත්තු ගණන් කර කර ...


හැබැයි ඉතින් එලියට බැහැල එන්න කලින් ,,මමත් ගට අරගෙන ඇන්ටි ට කිව්වා ... " ඇන්ටි , මූ අහපු එක ඇත්ත ..හැබැයි දෙන්න අතරේ ආදර සම්බන්දයක් නෑ ..හොඳ යාලුවෝ විතරයි .. හැබැයි අද ඉඳල අපි කොහොමත් මාලිකා ගෙන් ඈත්  වෙලා ඉන්නම් " කියලා ...

එදා සාමන්තයා එලියට බැහැල ආවේ, කවදම හරි වයසට ගිහිල්ල උනත් කමක් නෑ ... අම්මා තාත්තා හොයල දෙන කෙල්ලෙක් බඳිනවා මිසක් ආයේ  ලොවෙත් ලව් කරන්න නම් යන්නේ නෑ කියල හිතා ගෙන.


දැන් වෙන කොට උන් දෙන්නම තමන්ට ගැලපෙන සහකාරියෙක් , සහකරුවෙක් හොයා ගෙන සතුටින් ජීවත් වෙනවා .හැබැයි ඔය සිද්දිය දැන් කාලේ  ඉස්කෝල ජෝඩුවකට වුනා නම් එහෙම, එක්කෝ ලියුමක් ලියලා ..ලෙයින් අත්සන් කරලා ,බදාගෙන ගඟේ මූදෙ  පැනල .. නැත්තම් බර බරේ දැම්ම කියල කොල්ල ගිහින් කෙල්ලගේ අම්මට ඇසිඩ් ගහල... දැන් කාලේ අහන්න , දකින්න ලැබෙන ගොඩක් දේවල් ඒ වගේ ඛේදාන්ත නේ .. ඒ වගේ දේවල් වලට නම් කියන්න තියෙන්නේ  "අබුද්දස්ස කාලේ ලබුත් තිත්තලු රාලේ... " කියල තමයි ...













Saturday, March 14, 2015

ජ්‍යෝතිෂ ගු(හො)රු


Image result for horoscope readersජ්‍යෝතිෂ ගු(හො)රු .....

පහු ගිය පෝස්ටු දෙක තුනම ඉස්කෝලේ කාලේ වෙච්චි දේවල් නිසා, ඉන්දරේ කල්පනා කලා පොඩ්ඩක් ඉස්කෝලෙන් එලියට පැනල , විශ්ව විද්‍යාල කාලේ මතක පොත අවුස්සන්න. ඔන්න මම ඔය කියන කාලේ වෙනකොට මටත් තිබ්බ මගේම වුන මගේම ආදරයක්.... හැබැයි, මගේ ප්‍රියම්බිකාව හිටියේ වෙන විශ්ව විද්‍යාලයක.

සතියට සැරයක් දෙසරයක් විසිට් එක දාලා ශේප් කර ගත්තේ නැත්තම්, නිකට දණහිස්සේ ගෑ වෙන්න මූණ එල්ල ගන්න හින්ද, මාත් ඉතින් බස් දෙක තුනක එල්ලිලා බඩ ගානවා කෙල්ලව බලන්න. හැබැයි අහන උන්ට මම කියන්නේ, “මාගේ මේ ව්‍යායාමය හුදෙක් මල් කැඩීම උදෙසාම නොවෙයි... එය අන්තර් විශ්ව විද්‍යාලයීය සහයෝගීතාව උදෙසාමයි” ... කියල. 

අර කව්දෝ කිව්වලු “ආදරෙත් හරියට පට්ට ඇඹුල් බිලිං ගෙඩියක් වගේ.. කන උන්ගේ දත් හිරි වැටිලා, හකු පූට්ටු වෙනවා. ඒත් බලා  ගෙන ඉන්න උන්ගේ කටට කෙල උනනවා” කියල.... ඔන්න ඉතින් මම කෙල්ලව බලන්න කන කට්ට, මගුල් සක්වලේ කරනම් ගැහීමක් විදිහට දැකපු එවකට තනිකඩව හිටපු හොඳම ෆ්රෙන්තෙකුටත් ඕනි උනා කරත්තයක් දක්කන්න.

කෙල්ලෙක් ඉස්සරහ වෙව්වලන්නේ නැතිව හිට ගන්න බැරි ගය්යා ( කතා නායක මගේ ෆ්රෙන්තා), මොන විදිහට ඇහුවද මම දන්නේ නෑ...හැබැයි ආදරය ප්‍රකාශ කරලා අපේ බැච් එකේම කෙල්ලෙකුට. ඒ කෙල්ලගෙනුත් කොල්ලෙක් අහල තියෙන්නේ ජීවිතේ මුල්ම වතාවටද කොහෙද, කල බල වෙච්ච පාර, මෙකි එක පාරටම බෑ ගාලා...

හැබැයි උදේ මේ සිද්ධිය උනා කියමු... හවස් වෙද්දී කෙල්ලට තේරුණා කරපු ගොන් කමේ තරම..ඔන්න මට පාස් වුනා කියමුකෝ පණිවිඩේ, කෙල්ල කැමතියි කියල. මම ඉතින් ගියා ගය්යාගේ බෝඩිමට, බ්‍රේකින් නිව්ස් එක දෙන්න. මම හිතුවේ කෙල්ලගෙන් බූට් පාර කාලා, මේකා ඇඳ බදා ගෙන පත බෑවිලා ඇති කියල.  මෙන්න මේකා ටියුට් එකක් කරනවා..

“ආ ඉන්දරේ... මොකෝ හදිස්සියේ” .. පොරගේ කතාව නිකන් මොකුත්ම නොව්න ගානට. “මචන්.. උඹ ඇහුවලු නේද කෙල්ලගෙන්..” මමත් දැම්ම මුට්ටිය...”ඔව් බන්..එකී බෑ කිව්වා” ... 
“ගය්යා... මට කෙල්ල එවල තිබ්බා පණිවිඩයක්..... එකී කිව්වා....” කොහෙද..මට ඉවර කරන්න දෙන්නේ නෑ .. මේකා පනිනවා මැද්දට... “ අවුලක් නෑ ඉන්දරේ ... මම ඒකිත් එක්ක තරහ නෑ...” .... ගය්යගේ හිතේ මම ඒකගේ හිත හදන්න ආවා කියලා... මට පට්ට මල.
“ මේ... %^$#&^ පුතෝ.. උඹ මේ මගුලක් කතා කරනවා.., අන්න ඒකි උඹට කැමතියි ලු..” සුද්ද සිංහලෙන්ම කියන කල් ඉතින් මේකා මට කතා කරන්න දුන්නෙම නෑනේ.... චූන් එක වැඩි වෙලා, පොර ඇඳ උඩට පැනපු පාර, තව පොඩ්ඩෙන් ඔලු කට්ට ඉස් මුදුනෙන්ම ගැලවිලා යනවා මාළු පෙත්ත වගේ... උඩ තිබ්බ ෆෑන් එකට....

ඔන්න ඉතින් ඒකත් ජයසිරි මංගලම් කියලා,   ඒ ලව් ඉස්ටෝරියත් ගලාගෙන යනවා මහවැලි ගන් කොමලිය වගේ..පොඩි පොඩි ගල් පර, වංගු බෑවුම් තිබ්බට, ලොකු සීන් නෑ... ශේප් එකේ යනවා..කෙල්ල ගෙදරටත් කිව්ව කියමුකෝ... කෙල්ලගේ අම්ම ඉල්ලලා ඒවලා තිබ්බ කොල්ලගේ හඳහන... ඒත් අපි බැලුවා, කොල්ල කළුද සුදුද දකින්නත් කලින්, හඳහන් ඉල්ලන්නේ අහවල් එකටද කියල...කෙල්ල කියන විදිහට කෙල්ලගේ අම්මල කේන්දර පිස්සෝ... 

කොහොමත් ඉතින් උගත් බුද්ධිමත් උපාධි අපේක්ෂකයින් විදිහට, කිරල මැනලා මිසක් තීරණ ගැනීමේ පුරුද්දක් අපිට ඒ කාලේ ඉඳලම තිබ්බේ නැහැ.ඒක හින්ද පෙර සූදානමක් විදිහටකෙල්ලගේ කේන්දරේ ගෙන්නලා දැම්ම පොඩි චෙක් අප් පාරක්, ඒ කාලේ හිටපු නම ගිය කේන්දර කාරයෙක්ට කියල. පැණි වරක ගහටත් හෙන ගහපි කියන්නේ, ඔන්න කේන්දර බලපු ගුරා කියපි, “ ලොවෙත් ගැලපෙන්නේ නෑ.. ඇරත් දරු පළත් නැහැ” කියල...
දැන් ඉතින් මොකද කරන්නේ.. ජෝඩුව ඉන්නවා, ආච්චි මලා වගේ ෆුල් සික් ගහල...

“මචන්ලා.. කේන්දර ඇත්ත වෙන්නත් පුළුවන්...බොරු වෙන්නත් පුළුවන්... හැබැයි, උඹල බඳිනවා නම්, ඇත්ත උනත් අවුලක් නෑ කියල හිත හදා ගෙන බඳින්න ඕනි ” ... කියන්න ඕනි එක මම කියල දැම්මා... 
“ ළමයෙක් නම් අරන් හදා ගන්න බැරිය ඉන්දරේ... අපිට එකතු වෙන්න තියනවා නම් ඒ ඇති.. ඒත් කේන්දර බලවපු ගමන් අපේ අම්ම නම් කීයට වත් මේකට ඉඩ දෙන්නේ නෑ  ” ... කෙල්ල ටැප් එක ඇරිය ඔන්න...

අම්ම මොක කිව්වම මොකද ජෝඩුව එක හිතින් නම්... ඉන්දරේ එන්ටර් උනා සීන් එකට... දවස් දෙකයි ගියේ..කෙල්ලගේ කේන්දරේ දීලා හැදෙව්වා ගය්යට අලුත් කේන්දරයක්... ආයෙත් පොරොන්දම් නම් පොරොන්දම්... වෙන ඒවා නම් ඒවා..ගැලපෙනවා කියන්නේ ඉතින් ලොවෙත් අවුලක් නැහැ...

ඔන්න ඉතින් කෙල්ලගේ අම්ම කේන්දර බැලෙව්වා.. එක තැනකින් නෙමෙයි ,,දෙතුන් තැනකින්...බලපු උන් හැමෝම කිව්වලු....උන්ගේ ජීවිත කාලේ හම්බ උන හොඳම ගැලපෙන කේන්දර දෙක...මේක නම් නෝනා කොහොමවත් අත අරින්න එපා කියල. 

කාලේ පියාඹල ගිහින්, දෙන්නගේ මගුල් දවසත් ආව කියමුකෝ... ජෝඩුව සමු ගන්න කොට අම්ම තාත්තා බදා ගෙන හිටියට වඩා වෙලා මාව බදා ගෙන හිටිය. හේතුව දන්නේ මායි, මගේ ප්‍රියම්බිකාවයි, ඒ ජෝඩුවයි විතරයි...

අදටත් උන් දෙන්න අපේ හොඳම යාලුවෝ.... උන් මාර ආතල් එකේ,,,ෆුල් ජොලියේ ඉන්නවා... දන්නවද හොඳම සීන් එක... උන්ට ඉන්නවා ,,, බෝනික්කියෝ වගේ කෙලි පැටික්කියෝ,,, එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම....

කොහොමද ඔරිජිනල්  කේන්දරේ බලපු මුල්ම කේන්දර කාරයා ගේ බයිලාව... අනිවා..පොර අර (හිටපු) රාජකීය කේන්දර මෑන් “සුමනේ” වගේ පොරක්...  හැබැයි ඉතින් ගය්යව අවුස්සන්න ඕනි උනාම මම කියන්නේ “ මචෝ.. කෝකටත් පොඩි උන්ගෙයි උඹෙයි DNA ටෙස්ට් එකක් කර ගත්තොත්  මොකෝ” කියලා... විහිළුවට හොඳේ.....

Monday, March 9, 2015

කිරි වවුල්ලු සහ පලංචි ....



දැන් ඉතින් මේ කම්පියුටරයක් ඉස්සරහට වෙලා ලොකු පොරක් වගේ බ්ලොග් කෙටුවට මොකද, මේ ඉන්දරේ ඉපදුනේ ලඟම ටව්මටත් කිලෝ මීටර් 7..8ක් දුරින් තිබ්බ හද්ද ඩොටේ ගමක. ඒ ගම ප්‍රසිද්ධ වෙලා තිබ්බේ “වවුල් කැලේ කිට්ටුව තියන ගමක්” කියල... මොකෝ අපේ ගම ළඟ තිබ්බ කැලෑ රොදක තමයි රෑට මුළු පළාතේම ඉන්න වවුල්ලු ලැග්ගේ. 

ඔන්න ඉතින් ඉස්කෝලේ යන වයස ආවම, අම්ම තාත්ත කොහොමින් කොහොමින් හරි කොල්ලව දා ගත්ත ටව්ම කිට්ටුව ප්‍රාථමිකේකට.ඒ ඉස්කෝලේ දෙකේ පන්තියේ අපේ ටීචර් උනේ මගේ නෑදෑ වෙන නැන්ද කෙනෙක්. හිටපු ගමං ඒ නැන්ද එයාගේ පුතාවත් අරන් එනවා ඉස්කෝලෙට. කර දඬු උස මහත් උනාට මොකද ඒ කොල්ල මහම මහා සිඟිති මානසිකවත්වයකින් පෙළුණු ගොබිලෙක්.  පොර දන්නවා මට පොරව දිරවන්නෙම නෑ කියල.
ඔන්න දවසක් මුළු පන්තියටම ඇහෙන්න මේකා අහපි.. “ ඉන්දරේ මල්ලි... උඹ ඉන්න ඕනි පුටුවක ඉඳගෙන නෙමේනේ.. උඩ එල්ලිලා නේ .. “ කියල. 

අපේ පන්තියෙත් හිටියා, කලිසම් ඇන්දට මොකද , හොඳම එකෙන් ගවුන් වලට හරි යන සෙට් එකක්. ඔන්න ඉතින් උන්ට ඉවසිල්ලක් නැතිව ගියා, ඒ කතාවේ අග මුල දැන ගන්න කල්. අර පෝරිසාදයත් ඉතින් හොඳට ලුණු ඇඹුල් දාල දුන්න , ඉන්දරේ එන්නේ වවුල් කැලේ ඉඳල... ඒක හින්ද මේකා ඉන්න ඕනි අර බාල්කෙ එල්ලිලා කියලා....

ඔන්න හරියටම වයස 8යි... දෙකේ පන්තියේ නසරානියෝ ටික ඉන්දරේ ව “කිරි වව්ලා” කියලා බව්තීස්ම කරන කොට. කොයි හරි ආත්මෙක කරපු පව් පඩිසන් දෙනකල්ම පස්සෙන් එනවා කියන එක පට්ටම ඇත්ත කියල තේරුනේ, අර දෙකේ පන්තියේ ඉන්දරේගේ “වවුල්” නාමය බව්තීස්ම කරන්න එකෙන්ම පෙරමුණ ගත්ත එකෙක් ශිෂ්‍යත්වේ පාස් වෙලා ... ඉන්දරේ ගිය අලුත් ඉස්කෝලේ.. ඉන්දරේ  ගිය අලුත් පන්තියටම පාත් වෙච්ච දවසේ තමයි.

ආයේ ඉතින් අලුතින් කියන්න දෙයක් නෑනේ. අලුත් ඉස්කෝලේ , අලුත් පන්තියේ කොල්ලෝ, “ඉන්දරේ” නම දැන ගන්න කලින් ඔන්න දන ගත්ත  “කිරි වවුල්” සීන් එක. ඉන්දරේ ට ඉතින් පට්ට මල. ඇයි අප්පා, හැමෝටම ලස්සන ලස්සන නම්, ඉන්දරේ විතරක් “වව්ලා”. ඉන්දරෙත් ඉතින් එහෙම ලේසියෙන් ගේම අත අරින පුතයෙක් නෙමේ නේ... මාසයයි ගියේ, පන්තිය නිකන් සත්තු වත්ත වගේ... ඉන්න තරමක් ඉන්නේ බඩගාන එවුනුයි.. පියාඹන එවුනුයි... කකුල් හතරේ එවුනුයි...

එවකට අපේ පන්ති බාර ගුරු උත්තමයටත් තිබ්බේ පොලිස් බල්ලෙකුට තියන ඉව. එතුමා කොහෙන් කොහෙන් හරි හොයා ගත්ත මේ නම් රේජිස්ටාර් කරන සීන් එක පිටි පස්සේ ඉන්නේ ඉන්දරේ කියලා. ඔන්න ඉතින්, අම්මට ආවා සිතාසි ගෙදරටම. මෙකගෙන් නම් කවමදාවත් ගැලවීමක් නෑ කිය කියා.. ඉන්දරේට ආඩපාලි කිය කියා ඔන්න අව කියමුකෝ අම්ම , අපේ සර් උත්තමය ව බැහැ දකින්න. අම්මව දැක්ක ගමන් සර් අහපි, “ ආ ඉන්දරේ ගේ අම්මේ... මේ කොලුගෙ තාත්තා එහෙම වැඩ කරන්නේ ... උත්පැන්න ලියාපදිංචි කරන කන්තොරුවේද” කියල...අම්මත් උතුර දකුණ මාරු වෙලා උඩබිම බලද්දී... සර් කියනවා “ නෑ ඉතින්.. කොල්ල මෙහෙ දිගට හරහට අනිත් ළමයින්ට නම් රෙජිස්ටාර් කරද්දී... මම හිතුව ඒත්, තාත්තා ගෙන් ආපු ආබාශයක්වත් ද කියල “..

කොහොමින් කොහොම හරි, සර් ගේ පන්තියේ ඉන්න කල් ,,,ආයේ ඒ වැරැද්ද කරන්නේ නෑ කියන පොරොන්දුව මත ඔන්න අත් හිටවූ දඬුවම් ප්‍රකාශයට පත් කළා. ඔහොම නෙමෙයි, උපරිමාධිකරණයෙන් කිව්වත්, කිව්ව පලියට ඔලුව නමන්න ඉන්දරේ ගේ හිත අදි මදි කරනවා... එත් ඉතින්, මුන් වරෙන්තු නිකුත් කරන්නේ අර අහක ඉන්න අසරණ අම්මටනේ... අම්මට දුක් දෙන්න තියන අකමැත්තටම, ඉන්දරේ හිත හදාගෙන පැත්තකට උනා ඔන්න.

හැබැයි ඉතින්.. ඉන්දරේ වගේම රෙජිස්ටාර් සීනියර් උත්තමයල ඉස්කෝලේ ඉතිහාසයේ තව ඉඳල තියනවා කියල ඉන්දරේ ට තේරුනේ A/L කාලේ. ඒ කාලේ , පොල් ගහක් වගේ උසට හිටිය පන්ති බාර සර් ට කොල්ලෝ කිව්වේ “පලන්චියා” කියල. ඔන්න කියන තැනක දිවුරන්නම්, ඒක නම් මම දාපු නමක් නෙමෙයි හොඳද....

හැබැයි ඉතින් මේ “පලංචි සර්” ගෙන් ...පන්ති බාර වැඩේ හරියට කෙරෙන්නේත් නෑ... උගන්නන වැඩේ හරියට කෙරෙන්නේත් නෑ... කොටින්ම කියනවා නම්, මෙලෝම රහක් නෑ කියල මාසෙන් දෙකෙන් කොල්ලන්ට තේරුණා. ඒත් ඉතින් මොකාටද දෙය්යනේ ඕක කෙලින් කියන්න පුළුවන්....
ඔන්න දවසක් ලමයි ඉන්ටවල් එකට එලියට ගිහින් එද්දී, “පලංචි සර්” ඉන්නවා , ඉනට අත් දෙකත් තියාගෙන... කළු ලෑල්ල දිහා බලාගෙන. මූණට වී මිටක් දැම්ම නම් තප්පරෙන් පොරි වෙනවා... කොල්ලොත් ඉතින් එබිලා බැලුව, කළු ලෑල්ලදිහා... සර් ව මේ තරම් යක්ෂා වේශ වෙන්න තරම් ,,,මොකක්ද ඒකෙ තියෙන්නේ කියල.  දෙය්යෝ සාක්කි, දන්නවද පොල් ගෙඩි අකුරෙන් එකේ ලියල තිබ්බේ මොකක්ද කියල...

“පලන්චියක් විකිණීමට තිබේ ”....

හම්මෝ... සර් නොකළේ ,,, රජයේ රස පරීක්ෂක ගෙන්නපු එක විතරයි...හැබැයි පොරට ලොවෙත් හොයා ගන්න බැරි උනා, කව්ද මේක කලේ කියල...අහල පහල පන්ති වල සර් ලාටත් මේක ආරංචි වෙලා හිනා. මොකෝ හැමෝම දන්නවා ,, පොර අයිස් කන්දක් කියල.... ඉතින් ඒ සර් ලත් ලියපු දේ එළිපිට අනුමත නොකලට, හිත යටින් සතුටු උනා.

ඔන්න දැන් ඉන්දරේ රහසක් කියන්නයි යන්නේ ... හැබැයි ඉතින් මුල් වතාවට තමයි ඔන්න මාධ්‍යට කියන්නේ හොඳේ... එදා අපේ පන්තියේ එක ජුදාස් කෙනෙක් හරි හිටිය නම්, ඒ වැඩේ කරපු එකා පාවල දෙන්න, අද මේ බ්ලොග් එක ලියන්න ඉන්දරේ කෙනෙක් නෑ ඔන්න.....  J J

හැබැයි ඉතින්... ඉන්දරේ නම් කියන්නේ, අහිංසක දෙමව්පියෝ, වෙලාවල් බලලා... අකුරු ගලපලා... ඒ කාලේ නම් අරිසෙන් අහුබුදුට හරි, දැන් නම් එයාගේ දුවට හරි සල්ලිත් ගෙවලා.... දාන නම් වලින් කතා කරන්නේ නැතිව, වෙන නම් දාන එක.. මහම මහා ආනන්තරීය පාප කර්මයක් කියල...


හැබැයි ඉතින්, ඉන්දරේ ට නම් ඒ පව් අදාල වෙන්නේ නෑ.. මොකද, ඒ පව් ඔක්කොම අනුමෝදම් වෙන්නේ, අර දෙකේ පන්තියේ (නැන්ද) ටීචර් ගේ ...සිඟිති මානසිකත්ව ලෙඩෙන් පෙළුණු කොල්ලටනේ.. ඒකනේ පොඩි කාලෙම මට නම් දාලා මාව මේ නරා වලට ඇදලා දැම්මේ... 

Saturday, March 7, 2015

ඉන්දරේ සහ සංගීතය

ලඟදි මම පොඩි වැඩකට ඉස්කෝලෙකට ගිය වෙලේ , දැක්ක ලමයි වගයක් වයලින් සරපිනා උස්සගෙන එහෙ මෙහෙ යනවා ... පස්සේ බලන කොට O /L  විභාගේ ප්රයෝගික පරීක්ෂණ .... ඔන්න ඉතින් මටත් මතක් උනා , ඉස්කෝලේ කාලේ සංගීතයත් එක්ක තිබ්බ මගේ නොවන මගේම වය්රය .... මේ පොස්ටුව  ගැන ...

මේ කතාව පටන් ගන්නේ ඉන්දරේ පොඩි කොලු පැටියෙක් කාලේ ... ශිෂ්යත්ව විභාගෙන් ගොඩ ගිහින් කොළඹ ඉස්කෝලෙකට එන කාලේ ... ඉගෙන ගන්න තිබ්බ ඔක්කොම දේවලුත් හරි ... සවුන්දර්ය විෂයත් හරි .....  ඉස්කෝලේ සංගීතේ කලේ සින්දු කියන්න පුළුවන් එවුන් විතරක් නෙමෙයි ..චිත් , නැටුම් බැරි ඈයොත් කලේ සංගීතය ...

ඔන්න ඉතින් මුල්ම පරීක්ෂණයත් ආවා  කියමුකෝ ,,, ඒකෙන් තමයි ගායනය ,,,වාදනය කියල තෝරන්නේ ,,, මම ඉතින් පාඩම් කරගෙන ගියේ "අකුරු මැකී නෑ " සින්දුව ..... මගේ වාරේ ආවාම හරි බරි ගැහිලා කියන්න ගත්ත සින්දුව ... පේලි දෙකයි කියන්න හම්බ උනේ ...අපේ සංගීත මාස්ටරයා මර හඬ තැලුව .. "ඉන්දරේ ....ඔය ඇතී .... ඔයා වාදනය" කියල ,,,, බැල්මකින් මිනිහෙක් මරන්න පුළුවන් නම් , මාස්ටර් එතනම සෙත්ත පෝච්චි ෂුවර් එකටම ... ඇයි  අප්පා.. .චාටර් කරනවා කියල ඔහොමත්  කරන  සිරිතක් තියනවා යැ ...

කාලය ඉගිල්ලුනා ,,, O/L  කාලෙත් ආවා ... අපේ පන්ති බාරව හිටියේ සූටිම සූටි මිස් පොඩ්ඩක් .. මිස් කොයි වෙලෙත් මතුරපු මන්තරයක් තිබ්බ මේ ඉන්දරේ ගැන ... "ඉන්දරේ , මම දන්නවා ඔයා නම් පැටියෝ ..ඉස්කෝලේ ඉතිහාසයටම කවුරුවත් තියල නැති වාර්තාවක් එක්ක තමයි විභාගේ ගොඩ යන්නේ ...." ඔන්න ඔහොමයි අපේ ටීචර් පොඩ්ඩ ගෙ වරුණාව මම ගැන ... කලේ ප්රතිපල දුන්නේ D- විශිෂ්ට සමර්ථ , C - සම්මාන සාමාර්ථ  විදිහට ... කාලේ ප්රථිපල හැටියට D  8ක් එක්ක විභාගේ ගොඩ යනවා කියන්නේ මහා ලොකු සීන් එකකුත් නෙමේ ... ඉතින් ඔයාල දන්නවද අපේ ටීචර් පොඩ්ඩ මම තියයි කියල හිතන් හිටපු වාර්තාව .... ඉස්කෝලේ ඉතිහාසයේ පලවෙනි වතාවට ...විෂයන් 7 කටඅරන් ,,ඉතුරු එක fail වෙයි කියල තමයි ඔන්න අනාවැකි පල කලේ ,,,දැන් ඉතින් ඔයාල දන්නවනේ ඇන  ගනියි කියල හිතපු සබ්ජෙක්ට්එක ...

ඔන්න ඉතින් විහාගේත් ආවා කියමුකෝ ... ලියන ඒවා නම් ....බඩේ බත් වගේ ගොඩ ... මාස කීපෙකට පස්සේ ඔන්න ප්රයෝගික පරීක්ෂණය ... කාලේ විභාග වලට යන කොට අපේ පස්සෙන් අම්මල තාත්තල ආවේ නෑ ... ඒත් මේ ප්රයෝගික පරීක්ෂණය දවසේ දෙන්නම මගේ පස්සේ .... එයාලට බය හිතෙන්න ඇති මම මගින් ආපහු හැරිලා එයි කියල ...
 එක්කෝ එදා හිටපු පරීක්ෂකයෝ ඔක්කොම බීරෝ ... නැත්තම් මගේ පරණ ආත්මෙක පට්ටම පට්ට ණය කාරයෝ ටිකක් ... එකෙන් මේකෙන් ....කොල්ල වැඩේ ගොඩ දාගත්ත ... අපේ ටීචර් පොඩ්ඩ ගෙ අනාවැකිය ... කන ලඟින් ගිහින් ,,, D 7යි ,,, C 1යි... කොල්ල ගොඩ ....

පසු ලිපි: 33 කෝටියක් දෙවි දේවතාවුන් ඉන්න එකේ , හදිස්සියේ හරි එක උත්තමයෙක්  ඇවිල්ල , ඔන්න මගෙන් ඇහුවොත් කොහොමද ... "ඉන්දරේ ... ඔයාට නැති හැකියාවක් ඉල්ලන්න වරයක් තියනව " ,,, කියල . මම එක පයින් ඉල්ලන්නේ .. "අනේ දෙවියනේ .. බොන්ගෝ එකකට පොඩි තට්ටුවක් දාලා.. තාලෙට සින්දුවක් කියා ගන්න පුළුවන් විදිහේ සප් එකක් දෙන්න බෙරිද ? " කියල ...

හැබැයි ඉතින් දැන් පොස්ටුව කියවන ඔයාල අහයි .. " හරි ,,,දැන් මේක ඇයි අපිට කියන්නේ ..." කියල ...මෙන්න මේකයි සීන් එක ... මට පල දීල තියන කරුමෙම පල දීපු තව කවුරු හරි ඉන්නවා නම් ,.. ප්රසිද්දියේ නැතත් ...ශේප් එකේ පණිවිඩයක් එවන්න හොඳේ ... මොකෝ දෙයියන්ගෙන් උනත් තනි තනියෙන් යමක් ඉල්ලනවට වඩා ... එකතු වෙලා ඉල්ලන එකේ පොඩි බරක් තියනවා ... නැද්ද මම අහන්නේ ... :)