Saturday, May 23, 2015

හොඳට නරකට දෙකට කට මය....




උඹ නම් ඉන්දරේ කවදා හරි නහින්නේ කට හින්ද ම තමයි ... කියල මට කියපු උන්ට වඩා නොකියපු උන් අඩුයි කියලයි මම හිතන්නේ...
මගේ නසරානි කට හින්දා අපේ අම්මා අසරණ වෙච්ච සිද්දියක් මට තාම මතකයි.. ඒ මම සෑහෙන්න පොඩි කාලේ.  

අපි පොඩි කාලේ අම්මල එක්ක ගිහින් නෑවේ වත්ත පහල තිබ්බ ලිඳෙන්.. ඒකෙ වතුර හරි ම සනීපයි. ඒත් දවසක් අපි නැන්ද කෙනෙක්ගේ ගෙදර ගිය වෙලාවක ඒ ගෙදර නාන කාමරෙන් නෑවා.. හම්මෝ...බිමට, බිත්ති වලට පිඟන් ගඩොල් අල්ලලා... වතුර මලෙන් වතුර එන්නේ නිකන් දිය ඇල්ලකින් වගේ... ඒ වගේ අත්දැකීමක් හම්බ උනේ පලවෙනි වතාව හින්දද කොහෙද මගේ ඔළුවට ඒක තදින් කා වැදිලා තිබ්බා....

ටිකකාලෙකට පස්සේ ආරංචි උනා... ඒ නැන්දා නානකාමරේ ලිස්සල වැටිලා අත කඩා ගෙන කියලා...මට මාර දුකයි.ඔන්න දවසක් අපේ අම්මා තව කෙනෙක්ට කියනවා සිද්දිය. “ අනේ බලන්නකෝ ඒයි... පද්මා අක්කා බාත් රූම් එකේ ලෙස්සල වැටිලා නේ ."

මමත් ඉතින් ඇන්ටනා දා ගෙන අහන් ඉන්නවා... “ බාත් රූම්” ???? ..වචනේ නම් හොඳට හුරුයි. මොකද  මොන්ටිසෝරි යේ චූ කරන්න යන්න ඕනි උනාම අපිව ගිරව් වගේ පුරුදු කරලා තිබ්බා... “ටිචර්ර්ර්ර්ර්....May I go to the bathroom?.” කියල අහන්න.
ඒ එක්කම මතක් උනා..මොන්ටිසෝරියේ චූ කරන්න යන පුංචි කක්කුස්සි කෑල්ල.. ඔන්න ඒක තමයි ඉන්දරේ දන්නා බාත් රූම් එක....

අපේ අම්මට නම් පිස්සු,,,,පද්ම නැන්ද වැටුනේ කක්කුස්සියේ යැ.. අර ලස්සන නාන කාමරේ නේ.. ඒ කාලේ මට තිබ්බේ වැඩිහිටියන්ගේ කතා වලට ඇහුන් කන් දෙන නරක පුරුද්ද විතරක් නෙමෙයි... එයාලගේ කතා වලට හොට දාන පුරුද්දත් මට අඩු නැතිව තිබ්බා...
මම ඉතින් වෙඩිල්ල වගේ වාර්තා කළා..අම්මයි අර ඇන්ටියි කතා කර කර හිටපු තැනට. “ අම්මේ... අම්මට පිස්සු.. පද්ම නැන්ද වැටුනේ බාත් රූම් එකේ නෙමෙයි.. නාන කාමරේ නේ...”

හවස තාත්තා වැඩ ඇරිලා ආවම අම්මා මේ සිද්දිය කියල හොඳටම බැන්නෙවවා, වාචාල කට වහගෙන ඉන්න කියලා ...ඒත් මට ඒකෙ දිගක් පළලක් තේරුනේ ගොඩ කාලෙකට පස්සේ...

මේ වගේ සිද්දි නම් අනන්තයි අප්‍රමානයි... ඒත් මම ඊ ලඟට කියන්න යන්නේ ලව් කරන කාලේ වෙච්ච සිද්දියක්. ඒ කාලේ ඉන්දරේ ඉඳල හිටලා යනවා කෙල්ලගේ ගෙවල් පැත්තේ. ඒ ගියාම ඉතින් කෙල්ල පස්සේ වැටිලා දඟලන්නේ නෑ...අම්මල අක්කල එක්ක එකතු වෙලා විහිළු කරනවා...කුස්සියේ වැඩ වලට උදව් කරනවා....වත්තේ පිටියේ ඇවිදිනවා... හැබැයි මගේ කට ගැන දන්න හින්ද කෙල්ල මට ලේසියෙන් තාත්තා ලඟට නම් කිට්ටු වෙන්න දුන්නේ නෑ...තාත්තා පට්ට සාහිත්‍ය කාමියෙක්. ආයේ එකෙන්ම ඇසූ පිරූ තැන් ඇති බහුශ්‍රුතයෙක්.

කෙල්ල මොන නීති දැම්මත් මට මාර ආසාවක් තිබ්බේ තාත්තා එක්ක චැට් එකක් දාන්න. ඔන්න දවසක් මගේ පෙරැත්තය හින්දම කෙල්ල පර්මිසෝන් දුන්නා.... හැබැයි ඉතින් කට පරිස්සම් කර ගන්න පොරොන්දුව උඩ...
ඔන්න ඉතින් දැන් සංවාදය නැගල යනවා... මාත් මම කියවපු පොත් ගැන එහෙම කියල ලකුණු දාගෙන යනවා. එක පාරටම තාත්තා අහපි.. “ පුතා සති අන්ත පත්තර එහෙම බලන්නේ නැද්ද ?.  “ කියල.

ඒ කාලේ හැම සති අන්තෙකම වරද්දන්නෙ නැතිව මම එක්තරා පත්තරයක් කියවන්න පුරුදු වෙලා හිටියා. ඒත් ඒ ආසන්න කාලයේදී, පත්තරේ මැද පිටු දෙක ප්‍රසිද්ධ මහාචාර්ය වරු දෙන්නෙක්ට වෙන් කරලා තිබ්බා,  සමාජ හා දේශපාලන විවරණ වලට.. මෙලෝ යකෙකුට තේරෙන්නේ නෑ... කොටින්ම මෙලෝ රහක් නෑ....

ඔන්න ඔය කේස් එක හින්ද මට පත්තරෙත් එපා වෙලා තිබ්බේ..මම තාත්තට කිව්ව විස්තරේ.. අර මැද පිටු දෙකත් ප්‍රයෝජනවත් දේකට වෙන් කළා නම් නියමයි කියලා.. තාත්තත් ඉතින් අහගෙන ඉන්නවා හූ මිටි දිදී.. ඔන්න ඒ අව් අස්සේ කෙල්ල කෑ ගහනවා කුස්සියේ ඉඳලා, “ඉන්දරේ.. අම්මල, අක්කල වත්ත පහලට ගියා කොස් කඩන්න, අපිත් යමුකෝ “ කියල...
ඕකනේ කියන්නේ ගැනුන්ගේ මොලේ හැඳි මිටේ කියල... මෙතන මාමණ්ඩියයි බෑනයි දෙන්න පට්ට බුද්ධිමය සංවාදයක්.. එයා ඒ අස්සේ කතා කරනවා කොස් කඩන්න යන්න.. කාට කියන්නද මේවා ඉතින්....

පස්සේ තමයි දන්නේ ..කෙල්ල මාව ෆුල් ට්‍රයි කරලා ...එතනින් එලියට අරන් තියෙන්නේ ඇයි කියල...  තාත්තා ඒ පත්තරේ කියවන්නේ අර මහාචාර්ය වරු දෙන්නගේ ලිපි දෙක විතරලු,,, අර මම වීසි කරන්න කියපු පිටු දෙක.. කොහොමද ආතල් එක....කට හින්ද තව පොඩ්ඩෙන් කෙල්ල දෙන්නෙත් නෑ මාමණ්ඩි...

හැබැයි ඉතින් කට මගේ හොඳට හිටපු අවස්තාත් තිබ්බ. ඔන්න කැම්පස් අවුට් වෙලා මම යනවා හා පුරා කියල.. එක් තරා ආයතනයක සම්මුඛ පරීක්ෂණයකට... එකේ ඉන්ටව් පැනල් එකේ ඉන්නවා අපේ කැම්පස් එකේ හිටපු යම් මට්ටමක පරිපාලකයෙක්... ඔන්න ඉතින් ඉන්ටව් එක නැගල යනවා... එක්කෙනෙක් ඇහුවා...ඉන්දරේ අහවල් විශ්ව විද්‍යාලේ අහවල් පාඨමාලාව නේද කාලේ... ඒක ගොඩක් පිලි ගත්ත පාඨමාලාවක්.. කියල.. මාත් ඉතින් කොලර්ස් අප්..මෙන්න අරයා එක පාර පැනල කියපි... නෑ නෑ ... ඒ පාඨමාලාවේ ප්‍රශ්න වගයක් තියෙනවා..සමහර දේවල් හරියට යාවත්කාලීන වෙලා නැහැ කියල....

පැනල් එකේ අනිත් අය ටික ඉන්නවා තක්කු මුක්කු වෙලා.... මට යකා මල...
“ඔව්, එහෙම ප්‍රශ්නයක් තියෙනවා..අපිත් සමහර අලුත් දේවල් ඉගෙන ගත්තේ තනියම. හැබැයි ඉතින් ඒක ළමයින් ගෙ වැරැද්දක් නෙමෙයි...හිටිය පාලකයන්ගේ වැරැද්දක්.” ජොබ හම්බ උනත් එකයි..නැතත් එකයි.. කියන්න ඕනි දේ කියල මම එලියට ආවා...
ඔන්න සතියෙන් මට කෝල් එක ආවා.. සිලෙක්ට් උනා කියල... පස්සේ ආරංචි උනා, ලොක්ක එදා ඉන්ටව් එක ඉවර වෙලා අනිත් අයට කිව්වලු.. මෙන්න මේ හාදයා තව කොහේ කොහේ හරි මට බැන බැන යන්න කලින් අපි මෙතනට ගම්මු කියල.... එතනින් අස් වෙනකල් හැබැයි බොහොම සන්තෝසෙන් වැඩ කළා...

මොනවා උනත් අපේ අම්මා තාත්තා ගැන දන්න හැමෝම කියන්නේ මගේ කට ආරෙට ආව එකක් නම් නෙමෙයි කියල. ඒ උනාට මගේ කට එහෙම්මම අච්චුවේ තියල ඇවිල්ල තියෙනවා මගේ ලොකු කොලූ ට නම්... වයිපරේ කියන්නේ කොලූ බඩේ ඉන්දැද්දී ප්‍රර්ථනා කලේ .. “ අනේ .. ඉන්දරේගේ ඕනි දෙයක් කොල්ලට එහෙම්මම පිහිටන්න.. හැබැයි අර වාචාල කට විතරක් නැතිව.”  කියලලු.

හැබැයි ඉතින් ඒ ප්‍රාර්ථනාව නම් සොරි ඩොට් කොම් කියල දැන ගත්තේ කොලූ ට යන්තම් බහ තෝරන්න පුළුවන් කාලේ.  ඒ කාලේ මේකාට තිබ්බේ පුදුම විසයක්.. ඉතින් මම ආදරේට කිව්වේ “ජල්බිරිස්” කියලා. දවසක් පුටුවක එල්ලිලා පැද්දි පැද්දි ඉඳල වැටිලා අත කඩා ගත්තා. දොස්තර ලඟට ගියාම...දොස්තර අහපි “ මොකක්ද චූටි බබාගේ නම.... කියල. මම නම කියන්න හදද්දිම මෙන්න මේකා මුළු ඉස්පිරිතාලෙට ම ඇහෙන්න කට පුරෝලා කියපි... “ ජල්බිරී....ස්” කියල.... වටේ හිටපු නර්ස් ලාටත් හිනා.. කට්ටියම හිනා වෙන කොට කොලූ ට තේරුණා මොකක් නමුත් අවුලක් කියලා.... ඊට පස්සේ කියපි “ නෑ... නෑ... ඒ තාත්තා දාපු නම ..” කියලා.... එදා අපි ඉස්පිරිතාලෙන් ආවේ රෙදි නැතුව.... මොනව කරන්නද... තාත්ත කරපු දේ පුතා කලේ නැත්තම් ඒකා නොට්ටිගේ පුතා කියනවලු නේ....