බ්ලොග් එක කියවන
සහුර්දයෙක් අහල තිබ්බ, “මොකෝ මේ බ්ලොග් එක නතර වෙලා වගේ.. ඉන්දරේගේ ජීවන අත්දැකීම්
ඉවරවත් ද?” කියල...
හ්ම්ම්ම්... ජීවන
අත්දැකීම් නම් එමටයි. ඒත් ඉතින් ඉන්දරේත් සංසාර චක්කරේ හැල්මේ දුවන ගැල් බැඳී
ගොනෙක් ගානයි. රැකියාව, ගෙදර, ළමයින්ගේ ඉස්කෝල, විනෝද ගමන්, පාර්ටි .... අරව
මෙව්වා ඔක්කොම එක්ක ජීවිතේ ෆුල් බිසී...
කාලෙකට පස්සේ පොඩි ඉසිඹුවක්
හම්බ උනා පෝස්ටුවක් කොටා ගන්න. ජීවන අත්දැකීම් මතක පොතේ පිටු හිතින් පෙරලද්දී,
කතාවකට ලොකුම වස්තු බීජයක් නොවුනත්, පරම්පරා වෙනසයි, ඉන්දරේලා තරුණ කාලේ තිබ්බ
දෙමව්පිය දූ දරු බැඳීමයි, ඒ කාලේ සල්ලි ගැන තිබ්බ අල්පේච්ච හැඟීමයි....අලුත්
පරම්පරාවේ හාදයෝ එක්ක බෙදා හදා ගන්න පුළුවන් විදිහේ අත්දැකීමක් ළඟ හිත නතර උනා.
ඉන්දරේ ගේ දෙමව්පියෝ මහා
ලොකු සල්ලිකාරයෝ නෙමෙයි. දෙන්නම රජයේ සේවකයෝ. ඒත් ඉතින් ඉන්න තැනක් හදා ගෙන, බඩට
දෙයක් දාගෙන, කොල්ලටත් උගන්නගෙන කරගෙන ඉන්න පුළුවන් කමක් එයාලට තිබ්බා. ඉන්දරේ
පොඩි කාලේ ඉඳලම එකෙන්ම තේරුම් අරන් තිබ්බ දෙයක් තමයි අම්මල උත්සාහ කාලේ, බැංකු
පොත් සල්ලි වලින් පුරවන්න නෙමෙයි... හොඳට උගන්නල කොල්ලගේ ඔලුව පුරවන්න කියල.
මේ කතාව පටන් ගන්න දවස
ඉන්දරේගේ ජීවිතේ බොහොම වැදගත් දවසක්. එදා තමයි ඉන්දරේගේ විශ්ව විද්‍යාල පාඨමාලාව
පටන් ගන්න දවස කියල ලියුම ආවේ. තැපැල් කොමසාරිස් ගේ වැරැද්ද ද, ලියුම් බෙදන පියුම්
මාමගේ වැරැද්ද ද දන්නේ නෑ, කොහොමින් කොහොම හරි ලියුම ඉන්දරේට හම්බ උනේ campus පටන්
ගන්න දවස් දෙකක් තියා. ඒ අස්සේ මුන් තව වෛද්‍ය වාර්තාවකුත් අරන් එන්න කියල. ඒක නම්
හැබැයි ලොවෙත් අවුලක් නැහැ.. මොකෝ ඒ වෙන කොට ඉන්දරේගේ අම්මගේ රෝහල් රාජකාරියට විසි
අවුරුද්දක් පිරිලා තිබ්බේ.
මදැයි කොලා... ඔන්න අම්ම කියනවා, මොකක්ද අවුලක් හින්ද
අම්ම වැඩ කරන ඉස්පිරිතාලේ ඩොකා ලා වැඩ වර්ජනයක් ලු. දැන් ඉතින් පලයල්ලකෝ ඈත තියෙන ඩොටේ
ඉස්පිරිතාලෙකට, කට්ට කා ගෙන...
ඉන්දරෙලට ඒවා කටු උනාට
අම්මලට එහෙම නෑ.. අම්මල කියන්නේ අම්මල... අම්ම බොහොම සන්තෝසෙන් ඉන්දරේත් ඉස්සර
කරන් ගියා ඩොටේ ඉස්පිරිතාලෙට, කොල්ලගේ වෛද්‍ය වාර්තාව ගන්න. එදා මහා දෛවෝපගත දවසක්.
ඉන්දරේ යි, අම්මයි ගිය කෝච්චිය පීලි පැන්න. කොල්ලට වෛද්‍ය වාර්තා අරන් දෙන්න ගිය
අම්මා නතර උනේ ඉස්පිරිතාලේ ඇඳ උඩ..කොන්දේ ඇට දෙකක් බිඳිලා...
campus එකේ ඉන්දරේගේ
පලවෙනි අවුරුද්දෙන් තුන් කාලක් යනකල් අම්ම හිටියේ එක තැන් වෙලා. කොහොමින් කොහොම
හරි ප්‍රශ්න මැද්දේ ඉන්දරෙත් ඉගෙන ගත්තා. කාලයාගේ ඇවෑමෙන් අම්ම හොඳ වෙලා , ආපහු
රස්සාවටත් ගියා. ඒත් ඉන්දරේ දැනන් හිටියා, අම්මල ගෙවන්නේ අමාරු කාලයක් කියල. ඒක
නිසා පුලු පුළුවන් විදිහට ටියුෂන් කරලා,
ඉන්දරේ වියදම් පිරිමහ ගත්තා. ඒ කොහොම උනත් ගෙදර ගිය හෙම වෙලේම අම්මල කොල්ලට වියදමට
කියල සල්ලි දුන්න.
විශ්ව විද්‍යාලේ 3..4...
අවුරුදු වලදී ඉන්දරේ සොෆ්ට් වෙයාර් කොම්පැනියක වැඩ කරපු නිසා, ඉන්දරේගේ අතට හොඳ
ගානක් හම්බ උනා. ඒත් ඉතින් ඉන්දරේට කියල වෙනම බැංකු අකවුන්ට් එකක් තිබ්බේ නෑ. වියදම්
පිරි මහා ගත්තට පස්සේ, ඉතුරු වෙන සල්ලි ඉන්දරේ අම්මට දුන්නේ අම්මගේ බැංකු පොතේ
දාන්න. ඒක තමයි ඉන්දරේ දැනගෙන හිටිය ආරක්ෂිතම සේප්පුව.
ඔහොම කාලය ඉගිල්ලුනා.
ඉන්දරේ ඩිග්‍රිය ගහල, හා පුරා කියල රස්සවකටත් ගියා කියමුකෝ. ඔන්න ඉතින් දැන්
කුළුඳුල් පඩිය හම්බ වෙන්නත් ලඟයි. ඒ අස්සේ ආව call එකක්, මුල්‍ය අංශෙන්. ඉන්දරේ
ඔයාගේ පඩි යවන්න බැංකු අකවුන්ට් එකක්දීල නෑනේ කියල.. හප්පා, ඕක මහා ලොකු කජ්ජක්ද...
ඉන්දරේට මතක නැතිව යැ බැංකු නොම්බරේ. ඩග් ගාලා ෆෝන් එකෙන් ම දීල දැම්මා...
ඔන්න දවසයි දෙකයි ගියේ..
finance එකෙන් ආපහු කෝල් එකක්. ඒ පාර නම් එන්නමලු. ගියාම එතන හිටපු මිස් කෙනෙක් කිව්ව
“ඉන්දරේ මම හිතන්නේ ඔයා එදා මට ෆෝන් එකෙන් කියපු අකවුන්ට් නම්බර් එක මම වැරදියට
ලියා ගෙන ඇත්තේ” .. කියල. එහෙම කියල අපහු
නම්බර් එක දුන්න චෙක් කරන්න. කිසි වැරැද්දක් නෑ.. අකවුන්ට් නම්බරේ එකෙන් ම හරි... ඔන්න
ඉන්දරේ ආයෙම කන්ෆම් කරලා දැම්ම..
අර මිස් ගේ නළල රැලි ගැන්නුනා..
“ එතකොට බෑන්ක් එකද වරද්දල තියෙන්නේ.
බෑන්ක් එක කියනවනේ ඒ අකවුන්ට් එක අයිති R.M. චන්ද්‍රා කියල කෙනෙක්ට කියල”.. අර මිස් හොන්දටම අවුලෙන්...
“අපෝ මිස් බොරුවට නේ
කලබල වෙලා තියෙන්නේ.. කාටවත් වැරදිලා නැහැ... ඔක්කොම ටික එකෙන්ම හරි.. ඒ මගේ අම්ම..
ඉතින් ඒ අකවුන්ට් එකට තමයි පඩිය යන්න ඕනි” .. ඉන්දරේ මිස්ගේ සැක සංකා දුරු කළා.
ඒ මිස් සමච්චලේට හිනා උනේ
නැහැ. බොහොම කරුණාවන්තව මෙහෙම කිව්ව. “ ඉන්දරේ..ඔයාල වගේ තරුණ ළමයිඔහොම හිතන එක
ආඩම්බරයක්. ඒත් ඔෆිස් එකේ වැටුප දාන්න නම් ඔයාගෙම නමින් අකවුන්ට් එක තියෙන්න ඕනි”
කියල...
හ්ම්ම්ම්.. ඔන්න ඒ කාලේ
අපි හිතපු හැටි... දැන් මගේ පොඩි කොලූ තිස්සෙම අහනවා, “තාත්තේ.. මගේ ළමා ඉතුරුම්
ගිණුමට ගානක් දාමුද.. එතකොට බැංකුවෙන් තෑගි හම්බ වෙනවා” කියල.. ඔන්න මේ කාලේ...
කම්පා වෙලා තේරුමක් නෑ
...
---- පරම්පරා වෙනස කියන්නේ ඕකට තමයි ----