Monday, March 23, 2015
Saturday, March 14, 2015
ජ්‍යෝතිෂ ගු(හො)රු
ජ්‍යෝතිෂ ගු(හො)රු .....
පහු ගිය පෝස්ටු දෙක තුනම ඉස්කෝලේ කාලේ වෙච්චි දේවල් නිසා, ඉන්දරේ කල්පනා කලා පොඩ්ඩක් ඉස්කෝලෙන් එලියට පැනල , විශ්ව විද්‍යාල කාලේ මතක පොත අවුස්සන්න. ඔන්න මම ඔය කියන කාලේ වෙනකොට මටත් තිබ්බ මගේම වුන මගේම ආදරයක්.... හැබැයි, මගේ ප්‍රියම්බිකාව හිටියේ වෙන විශ්ව විද්‍යාලයක.
සතියට සැරයක් දෙසරයක් විසිට් එක දාලා ශේප් කර ගත්තේ නැත්තම්, නිකට දණහිස්සේ ගෑ වෙන්න මූණ එල්ල ගන්න හින්ද, මාත් ඉතින් බස් දෙක තුනක එල්ලිලා බඩ ගානවා කෙල්ලව බලන්න. හැබැයි අහන උන්ට මම කියන්නේ, “මාගේ මේ ව්‍යායාමය හුදෙක් මල් කැඩීම උදෙසාම නොවෙයි... එය අන්තර් විශ්ව විද්‍යාලයීය සහයෝගීතාව උදෙසාමයි” ... කියල.
අර කව්දෝ කිව්වලු “ආදරෙත් හරියට පට්ට ඇඹුල් බිලිං ගෙඩියක් වගේ.. කන උන්ගේ දත් හිරි වැටිලා, හකු පූට්ටු වෙනවා. ඒත් බලා ගෙන ඉන්න උන්ගේ කටට කෙල උනනවා” කියල.... ඔන්න ඉතින් මම කෙල්ලව බලන්න කන කට්ට, මගුල් සක්වලේ කරනම් ගැහීමක් විදිහට දැකපු එවකට තනිකඩව හිටපු හොඳම ෆ්රෙන්තෙකුටත් ඕනි උනා කරත්තයක් දක්කන්න.
කෙල්ලෙක් ඉස්සරහ වෙව්වලන්නේ නැතිව හිට ගන්න බැරි ගය්යා ( කතා නායක මගේ ෆ්රෙන්තා), මොන විදිහට ඇහුවද මම දන්නේ නෑ...හැබැයි ආදරය ප්‍රකාශ කරලා අපේ බැච් එකේම කෙල්ලෙකුට. ඒ කෙල්ලගෙනුත් කොල්ලෙක් අහල තියෙන්නේ ජීවිතේ මුල්ම වතාවටද කොහෙද, කල බල වෙච්ච පාර, මෙකි එක පාරටම බෑ ගාලා...
හැබැයි උදේ මේ සිද්ධිය උනා කියමු... හවස් වෙද්දී කෙල්ලට තේරුණා කරපු ගොන් කමේ තරම..ඔන්න මට පාස් වුනා කියමුකෝ පණිවිඩේ, කෙල්ල කැමතියි කියල. මම ඉතින් ගියා ගය්යාගේ බෝඩිමට, බ්‍රේකින් නිව්ස් එක දෙන්න. මම හිතුවේ කෙල්ලගෙන් බූට් පාර කාලා, මේකා ඇඳ බදා ගෙන පත බෑවිලා ඇති කියල. මෙන්න මේකා ටියුට් එකක් කරනවා..
“ආ ඉන්දරේ... මොකෝ හදිස්සියේ” .. පොරගේ කතාව නිකන් මොකුත්ම නොව්න ගානට. “මචන්.. උඹ ඇහුවලු නේද කෙල්ලගෙන්..” මමත් දැම්ම මුට්ටිය...”ඔව් බන්..එකී බෑ කිව්වා” ...
“ගය්යා... මට කෙල්ල එවල තිබ්බා පණිවිඩයක්..... එකී කිව්වා....” කොහෙද..මට ඉවර කරන්න දෙන්නේ නෑ .. මේකා පනිනවා මැද්දට... “ අවුලක් නෑ ඉන්දරේ ... මම ඒකිත් එක්ක තරහ නෑ...” .... ගය්යගේ හිතේ මම ඒකගේ හිත හදන්න ආවා කියලා... මට පට්ට මල.
“ මේ... %^$#&^ පුතෝ.. උඹ මේ මගුලක් කතා කරනවා.., අන්න ඒකි උඹට කැමතියි ලු..” සුද්ද සිංහලෙන්ම කියන කල් ඉතින් මේකා මට කතා කරන්න දුන්නෙම නෑනේ.... චූන් එක වැඩි වෙලා, පොර ඇඳ උඩට පැනපු පාර, තව පොඩ්ඩෙන් ඔලු කට්ට ඉස් මුදුනෙන්ම ගැලවිලා යනවා මාළු පෙත්ත වගේ... උඩ තිබ්බ ෆෑන් එකට....
ඔන්න ඉතින් ඒකත් ජයසිරි මංගලම් කියලා, ඒ ලව් ඉස්ටෝරියත් ගලාගෙන යනවා මහවැලි ගන් කොමලිය වගේ..පොඩි පොඩි ගල් පර, වංගු බෑවුම් තිබ්බට, ලොකු සීන් නෑ... ශේප් එකේ යනවා..කෙල්ල ගෙදරටත් කිව්ව කියමුකෝ... කෙල්ලගේ අම්ම ඉල්ලලා ඒවලා තිබ්බ කොල්ලගේ හඳහන... ඒත් අපි බැලුවා, කොල්ල කළුද සුදුද දකින්නත් කලින්, හඳහන් ඉල්ලන්නේ අහවල් එකටද කියල...කෙල්ල කියන විදිහට කෙල්ලගේ අම්මල කේන්දර පිස්සෝ...
කොහොමත් ඉතින් උගත් බුද්ධිමත් උපාධි අපේක්ෂකයින් විදිහට, කිරල මැනලා මිසක් තීරණ ගැනීමේ පුරුද්දක් අපිට ඒ කාලේ ඉඳලම තිබ්බේ නැහැ.ඒක හින්ද පෙර සූදානමක් විදිහටකෙල්ලගේ කේන්දරේ ගෙන්නලා දැම්ම පොඩි චෙක් අප් පාරක්, ඒ කාලේ හිටපු නම ගිය කේන්දර කාරයෙක්ට කියල. පැණි වරක ගහටත් හෙන ගහපි කියන්නේ, ඔන්න කේන්දර බලපු ගුරා කියපි, “ ලොවෙත් ගැලපෙන්නේ නෑ.. ඇරත් දරු පළත් නැහැ” කියල...
දැන් ඉතින් මොකද කරන්නේ.. ජෝඩුව ඉන්නවා, ආච්චි මලා වගේ ෆුල් සික් ගහල...
“මචන්ලා.. කේන්දර ඇත්ත වෙන්නත් පුළුවන්...බොරු වෙන්නත් පුළුවන්... හැබැයි, උඹල බඳිනවා නම්, ඇත්ත උනත් අවුලක් නෑ කියල හිත හදා ගෙන බඳින්න ඕනි ” ... කියන්න ඕනි එක මම කියල දැම්මා...
“ ළමයෙක් නම් අරන් හදා ගන්න බැරිය ඉන්දරේ... අපිට එකතු වෙන්න තියනවා නම් ඒ ඇති.. ඒත් කේන්දර බලවපු ගමන් අපේ අම්ම නම් කීයට වත් මේකට ඉඩ දෙන්නේ නෑ ” ... කෙල්ල ටැප් එක ඇරිය ඔන්න...
අම්ම මොක කිව්වම මොකද ජෝඩුව එක හිතින් නම්... ඉන්දරේ එන්ටර් උනා සීන් එකට... දවස් දෙකයි ගියේ..කෙල්ලගේ කේන්දරේ දීලා හැදෙව්වා ගය්යට අලුත් කේන්දරයක්... ආයෙත් පොරොන්දම් නම් පොරොන්දම්... වෙන ඒවා නම් ඒවා..ගැලපෙනවා කියන්නේ ඉතින් ලොවෙත් අවුලක් නැහැ...
ඔන්න ඉතින් කෙල්ලගේ අම්ම කේන්දර බැලෙව්වා.. එක තැනකින් නෙමෙයි ,,දෙතුන් තැනකින්...බලපු උන් හැමෝම කිව්වලු....උන්ගේ ජීවිත කාලේ හම්බ උන හොඳම ගැලපෙන කේන්දර දෙක...මේක නම් නෝනා කොහොමවත් අත අරින්න එපා කියල.
කාලේ පියාඹල ගිහින්, දෙන්නගේ මගුල් දවසත් ආව කියමුකෝ... ජෝඩුව සමු ගන්න කොට අම්ම තාත්තා බදා ගෙන හිටියට වඩා වෙලා මාව බදා ගෙන හිටිය. හේතුව දන්නේ මායි, මගේ ප්‍රියම්බිකාවයි, ඒ ජෝඩුවයි විතරයි...
අදටත් උන් දෙන්න අපේ හොඳම යාලුවෝ.... උන් මාර ආතල් එකේ,,,ෆුල් ජොලියේ ඉන්නවා... දන්නවද හොඳම සීන් එක... උන්ට ඉන්නවා ,,, බෝනික්කියෝ වගේ කෙලි පැටික්කියෝ,,, එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම....
කොහොමද ඔරිජිනල් කේන්දරේ බලපු මුල්ම කේන්දර කාරයා ගේ බයිලාව... අනිවා..පොර අර (හිටපු) රාජකීය කේන්දර මෑන් “සුමනේ” වගේ පොරක්... හැබැයි ඉතින් ගය්යව අවුස්සන්න ඕනි උනාම මම කියන්නේ “ මචෝ.. කෝකටත් පොඩි උන්ගෙයි උඹෙයි DNA ටෙස්ට් එකක් කර ගත්තොත් මොකෝ” කියලා... විහිළුවට හොඳේ.....
Monday, March 9, 2015
කිරි වවුල්ලු සහ පලංචි ....
දැන් ඉතින් මේ කම්පියුටරයක්
ඉස්සරහට වෙලා ලොකු පොරක් වගේ බ්ලොග් කෙටුවට මොකද, මේ ඉන්දරේ ඉපදුනේ ලඟම ටව්මටත්
කිලෝ මීටර් 7..8ක් දුරින් තිබ්බ
හද්ද ඩොටේ ගමක. ඒ ගම ප්‍රසිද්ධ වෙලා තිබ්බේ “වවුල් කැලේ කිට්ටුව තියන ගමක්” කියල...
මොකෝ අපේ ගම ළඟ තිබ්බ කැලෑ රොදක තමයි රෑට මුළු පළාතේම ඉන්න වවුල්ලු ලැග්ගේ.
ඔන්න දවසක් මුළු පන්තියටම
ඇහෙන්න මේකා අහපි.. “ ඉන්දරේ මල්ලි... උඹ ඉන්න ඕනි පුටුවක ඉඳගෙන නෙමේනේ.. උඩ
එල්ලිලා නේ .. “ කියල.
අපේ පන්තියෙත් හිටියා, කලිසම් ඇන්දට මොකද , හොඳම එකෙන්
ගවුන් වලට හරි යන සෙට් එකක්. ඔන්න ඉතින් උන්ට ඉවසිල්ලක් නැතිව ගියා, ඒ කතාවේ අග
මුල දැන ගන්න කල්. අර පෝරිසාදයත් ඉතින් හොඳට ලුණු ඇඹුල් දාල දුන්න , ඉන්දරේ එන්නේ
වවුල් කැලේ ඉඳල... ඒක හින්ද මේකා ඉන්න ඕනි අර බාල්කෙ එල්ලිලා කියලා....
ඔන්න හරියටම වයස 8යි... දෙකේ
පන්තියේ නසරානියෝ ටික ඉන්දරේ ව “කිරි වව්ලා” කියලා බව්තීස්ම කරන කොට. කොයි හරි ආත්මෙක
කරපු පව් පඩිසන් දෙනකල්ම පස්සෙන් එනවා කියන එක පට්ටම ඇත්ත කියල තේරුනේ, අර දෙකේ
පන්තියේ ඉන්දරේගේ “වවුල්” නාමය බව්තීස්ම කරන්න එකෙන්ම පෙරමුණ ගත්ත එකෙක් ශිෂ්‍යත්වේ
පාස් වෙලා ... ඉන්දරේ ගිය අලුත් ඉස්කෝලේ.. ඉන්දරේ ගිය අලුත් පන්තියටම පාත් වෙච්ච දවසේ තමයි.
ආයේ ඉතින් අලුතින් කියන්න
දෙයක් නෑනේ. අලුත් ඉස්කෝලේ , අලුත් පන්තියේ කොල්ලෝ, “ඉන්දරේ” නම දැන ගන්න කලින්
ඔන්න දන ගත්ත “කිරි වවුල්” සීන් එක.
ඉන්දරේ ට ඉතින් පට්ට මල. ඇයි අප්පා, හැමෝටම ලස්සන ලස්සන නම්, ඉන්දරේ විතරක් “වව්ලා”.
ඉන්දරෙත් ඉතින් එහෙම ලේසියෙන් ගේම අත අරින පුතයෙක් නෙමේ නේ... මාසයයි ගියේ, පන්තිය
නිකන් සත්තු වත්ත වගේ... ඉන්න තරමක් ඉන්නේ බඩගාන එවුනුයි.. පියාඹන එවුනුයි...
කකුල් හතරේ එවුනුයි...
එවකට අපේ පන්ති බාර ගුරු
උත්තමයටත් තිබ්බේ පොලිස් බල්ලෙකුට තියන ඉව. එතුමා කොහෙන් කොහෙන් හරි හොයා ගත්ත මේ
නම් රේජිස්ටාර් කරන සීන් එක පිටි පස්සේ ඉන්නේ ඉන්දරේ කියලා. ඔන්න ඉතින්, අම්මට ආවා
සිතාසි ගෙදරටම. මෙකගෙන් නම් කවමදාවත් ගැලවීමක් නෑ කිය කියා.. ඉන්දරේට ආඩපාලි කිය
කියා ඔන්න අව කියමුකෝ අම්ම , අපේ සර් උත්තමය ව බැහැ දකින්න. අම්මව දැක්ක ගමන් සර්
අහපි, “ ආ ඉන්දරේ ගේ අම්මේ... මේ කොලුගෙ තාත්තා එහෙම වැඩ කරන්නේ ... උත්පැන්න
ලියාපදිංචි කරන කන්තොරුවේද” කියල...අම්මත් උතුර දකුණ මාරු වෙලා උඩබිම බලද්දී...
සර් කියනවා “ නෑ ඉතින්.. කොල්ල මෙහෙ දිගට හරහට අනිත් ළමයින්ට නම් රෙජිස්ටාර්
කරද්දී... මම හිතුව ඒත්, තාත්තා ගෙන් ආපු ආබාශයක්වත් ද කියල “..
කොහොමින් කොහොම හරි, සර්
ගේ පන්තියේ ඉන්න කල් ,,,ආයේ ඒ වැරැද්ද කරන්නේ නෑ කියන පොරොන්දුව මත ඔන්න අත් හිටවූ
දඬුවම් ප්‍රකාශයට පත් කළා. ඔහොම නෙමෙයි, උපරිමාධිකරණයෙන් කිව්වත්, කිව්ව පලියට
ඔලුව නමන්න ඉන්දරේ ගේ හිත අදි මදි කරනවා... එත් ඉතින්, මුන් වරෙන්තු නිකුත් කරන්නේ
අර අහක ඉන්න අසරණ අම්මටනේ... අම්මට දුක් දෙන්න තියන අකමැත්තටම, ඉන්දරේ හිත හදාගෙන
පැත්තකට උනා ඔන්න.
හැබැයි ඉතින්.. ඉන්දරේ
වගේම රෙජිස්ටාර් සීනියර් උත්තමයල ඉස්කෝලේ ඉතිහාසයේ තව ඉඳල තියනවා කියල ඉන්දරේ ට
තේරුනේ A/L කාලේ. ඒ කාලේ , පොල් ගහක් වගේ උසට හිටිය පන්ති බාර සර් ට කොල්ලෝ කිව්වේ
“පලන්චියා” කියල. ඔන්න කියන තැනක දිවුරන්නම්, ඒක නම් මම දාපු නමක් නෙමෙයි හොඳද....
හැබැයි ඉතින් මේ “පලංචි
සර්” ගෙන් ...පන්ති බාර වැඩේ හරියට කෙරෙන්නේත් නෑ... උගන්නන වැඩේ හරියට කෙරෙන්නේත්
නෑ... කොටින්ම කියනවා නම්, මෙලෝම රහක් නෑ කියල මාසෙන් දෙකෙන් කොල්ලන්ට තේරුණා. ඒත්
ඉතින් මොකාටද දෙය්යනේ ඕක කෙලින් කියන්න පුළුවන්....
ඔන්න දවසක් ලමයි ඉන්ටවල්
එකට එලියට ගිහින් එද්දී, “පලංචි සර්” ඉන්නවා , ඉනට අත් දෙකත් තියාගෙන... කළු ලෑල්ල
දිහා බලාගෙන. මූණට වී මිටක් දැම්ම නම් තප්පරෙන් පොරි වෙනවා... කොල්ලොත් ඉතින්
එබිලා බැලුව, කළු ලෑල්ලදිහා... සර් ව මේ තරම් යක්ෂා වේශ වෙන්න තරම් ,,,මොකක්ද ඒකෙ
තියෙන්නේ කියල. දෙය්යෝ සාක්කි, දන්නවද
පොල් ගෙඩි අකුරෙන් එකේ ලියල තිබ්බේ මොකක්ද කියල...
“පලන්චියක් විකිණීමට තිබේ ”....
හම්මෝ... සර් නොකළේ ,,,
රජයේ රස පරීක්ෂක ගෙන්නපු එක විතරයි...හැබැයි පොරට ලොවෙත් හොයා ගන්න බැරි උනා, කව්ද
මේක කලේ කියල...අහල පහල පන්ති වල සර් ලාටත් මේක ආරංචි වෙලා හිනා. මොකෝ හැමෝම
දන්නවා ,, පොර අයිස් කන්දක් කියල.... ඉතින් ඒ සර් ලත් ලියපු දේ එළිපිට අනුමත නොකලට,
හිත යටින් සතුටු උනා.
ඔන්න දැන් ඉන්දරේ රහසක්
කියන්නයි යන්නේ ... හැබැයි ඉතින් මුල් වතාවට තමයි ඔන්න මාධ්‍යට කියන්නේ හොඳේ...
එදා අපේ පන්තියේ එක ජුදාස් කෙනෙක් හරි හිටිය නම්, ඒ වැඩේ කරපු එකා පාවල දෙන්න, අද
මේ බ්ලොග් එක ලියන්න ඉන්දරේ කෙනෙක් නෑ ඔන්න..... J J
හැබැයි ඉතින්... ඉන්දරේ
නම් කියන්නේ, අහිංසක දෙමව්පියෝ, වෙලාවල් බලලා... අකුරු ගලපලා... ඒ කාලේ නම්
අරිසෙන් අහුබුදුට හරි, දැන් නම් එයාගේ දුවට හරි සල්ලිත් ගෙවලා.... දාන නම් වලින්
කතා කරන්නේ නැතිව, වෙන නම් දාන එක.. මහම මහා ආනන්තරීය පාප කර්මයක් කියල...
හැබැයි ඉතින්, ඉන්දරේ ට නම්
ඒ පව් අදාල වෙන්නේ නෑ.. මොකද, ඒ පව් ඔක්කොම අනුමෝදම් වෙන්නේ, අර දෙකේ පන්තියේ
(නැන්ද) ටීචර් ගේ ...සිඟිති මානසිකත්ව ලෙඩෙන් පෙළුණු කොල්ලටනේ.. ඒකනේ පොඩි කාලෙම
මට නම් දාලා මාව මේ නරා වලට ඇදලා දැම්මේ...
Saturday, March 7, 2015
ඉන්දරේ සහ සංගීතය
ලඟදි මම පොඩි වැඩකට ඉස්කෝලෙකට ගිය වෙලේ , දැක්ක ලමයි වගයක් වයලින් සරපිනා උස්සගෙන එහෙ මෙහෙ යනවා ... පස්සේ බලන කොට O /L විභාගේ ප්රයෝගික පරීක්ෂණ .... ඔන්න ඉතින් මටත් මතක් උනා , ඉස්කෝලේ කාලේ සංගීතයත් එක්ක තිබ්බ මගේ නොවන මගේම වය්රය .... මේ පොස්ටුව ඒ ගැන ...
මේ කතාව පටන් ගන්නේ ඉන්දරේ පොඩි කොලු පැටියෙක් කාලේ ... ශිෂ්යත්ව විභාගෙන් ගොඩ ගිහින් කොළඹ ඉස්කෝලෙකට එන කාලේ ... ඉගෙන ගන්න තිබ්බ ඔක්කොම දේවලුත් හරි ... සවුන්දර්ය විෂයත් හරි .....ඒ ඉස්කෝලේ සංගීතේ කලේ සින්දු කියන්න පුළුවන් එවුන් විතරක් නෙමෙයි ..චිත්‍ර , නැටුම් බැරි ඈයොත් කලේ සංගීතය ...
ඔන්න ඉතින් මුල්ම පරීක්ෂණයත් ආවා කියමුකෝ ,,, ඒකෙන් තමයි ගායනය ද ,,,වාදනය ද කියල තෝරන්නේ ,,, මම ඉතින් පාඩම් කරගෙන ගියේ "අකුරු මැකී නෑ " සින්දුව ..... මගේ වාරේ ආවාම හරි බරි ගැහිලා කියන්න ගත්ත සින්දුව ... පේලි දෙකයි කියන්න හම්බ උනේ ...අපේ සංගීත මාස්ටරයා මර හඬ තැලුව .. "ඉන්දරේ ....ඔය ඇතී .... ඔයා වාදනය" කියල ,,,, බැල්මකින් මිනිහෙක් මරන්න පුළුවන් නම් , මාස්ටර් එතනම සෙත්ත පෝච්චි ෂුවර් එකටම ... ඇයි අප්පා.. .චාටර් කරනවා කියල ඔහොමත්
කරන සිරිතක් තියනවා යැ ...
කාලය ඉගිල්ලුනා ,,, O/L කාලෙත් ආවා ... අපේ පන්ති බාරව හිටියේ සූටිම සූටි මිස් පොඩ්ඩක් .. මිස් කොයි වෙලෙත් මතුරපු මන්තරයක් තිබ්බ මේ ඉන්දරේ ගැන ... "ඉන්දරේ , මම දන්නවා ඔයා නම් පැටියෝ ..ඉස්කෝලේ ඉතිහාසයටම කවුරුවත් තියල නැති වාර්තාවක් එක්ක තමයි විභාගේ ගොඩ යන්නේ ...." ඔන්න ඔහොමයි අපේ ටීචර් පොඩ්ඩ ගෙ වරුණාව මම ගැන ... ඒ කලේ ප්රතිපල දුන්නේ D- විශිෂ්ට සමර්ථ , C - සම්මාන සාමාර්ථ විදිහට ... ඒ කාලේ ප්රථිපල හැටියට D
8ක් එක්ක විභාගේ ගොඩ යනවා කියන්නේ මහා ලොකු සීන් එකකුත් නෙමේ ... ඉතින් ඔයාල දන්නවද අපේ ටීචර් පොඩ්ඩ මම තියයි කියල හිතන් හිටපු වාර්තාව .... ඉස්කෝලේ ඉතිහාසයේ පලවෙනි වතාවට ...විෂයන් 7 කට D අරන් ,,ඉතුරු එක fail වෙයි කියල තමයි ඔන්න අනාවැකි පල කලේ ,,,දැන් ඉතින් ඔයාල දන්නවනේ ඇන ගනියි කියල හිතපු සබ්ජෙක්ට් එක ...
ඔන්න ඉතින් විහාගේත් ආවා කියමුකෝ ... ලියන ඒවා නම් ....බඩේ බත් වගේ ගොඩ ... මාස කීපෙකට පස්සේ ඔන්න ප්රයෝගික පරීක්ෂණය ...ඒ කාලේ විභාග වලට යන කොට අපේ පස්සෙන් අම්මල තාත්තල ආවේ නෑ ... ඒත් මේ ප්රයෝගික පරීක්ෂණය දවසේ දෙන්නම මගේ පස්සේ .... එයාලට බය හිතෙන්න ඇති මම මගින් ආපහු හැරිලා එයි කියල ...
එක්කෝ එදා හිටපු පරීක්ෂකයෝ ඔක්කොම බීරෝ ... නැත්තම් මගේ පරණ ආත්මෙක පට්ටම පට්ට ණය කාරයෝ ටිකක් ... එකෙන් මේකෙන් ....කොල්ල වැඩේ ගොඩ දාගත්ත ... අපේ ටීචර් පොඩ්ඩ ගෙ අනාවැකිය ... කන ලඟින් ගිහින් ,,, D 7යි ,,, C 1යි... කොල්ල ගොඩ ....
පසු ලිපි: 33 කෝටියක් දෙවි දේවතාවුන් ඉන්න එකේ , හදිස්සියේ හරි එක උත්තමයෙක් ඇවිල්ල , ඔන්න මගෙන් ඇහුවොත් කොහොමද ... "ඉන්දරේ ... ඔයාට නැති හැකියාවක් ඉල්ලන්න වරයක් තියනව " ,,, කියල . මම එක පයින් ඉල්ලන්නේ .. "අනේ දෙවියනේ .. බොන්ගෝ එකකට පොඩි තට්ටුවක් දාලා.. තාලෙට සින්දුවක් කියා ගන්න පුළුවන් විදිහේ සප් එකක් දෙන්න බෙරිද ? " කියල ...
හැබැයි ඉතින් දැන් පොස්ටුව කියවන ඔයාල අහයි .. " හරි ,,,දැන් මේක ඇයි අපිට කියන්නේ ..." කියල ...මෙන්න මේකයි සීන් එක ... මට පල දීල තියන කරුමෙම පල දීපු තව කවුරු හරි ඉන්නවා නම් ,.. ප්රසිද්දියේ නැතත් ...ශේප් එකේ පණිවිඩයක් එවන්න හොඳේ ... මොකෝ දෙයියන්ගෙන් උනත් තනි තනියෙන් යමක් ඉල්ලනවට වඩා ... එකතු වෙලා ඉල්ලන එකේ පොඩි බරක් තියනවා ... නැද්ද මම අහන්නේ ... :)
Subscribe to:
Posts (Atom)