Monday, March 9, 2015

කිරි වවුල්ලු සහ පලංචි ....



දැන් ඉතින් මේ කම්පියුටරයක් ඉස්සරහට වෙලා ලොකු පොරක් වගේ බ්ලොග් කෙටුවට මොකද, මේ ඉන්දරේ ඉපදුනේ ලඟම ටව්මටත් කිලෝ මීටර් 7..8ක් දුරින් තිබ්බ හද්ද ඩොටේ ගමක. ඒ ගම ප්‍රසිද්ධ වෙලා තිබ්බේ “වවුල් කැලේ කිට්ටුව තියන ගමක්” කියල... මොකෝ අපේ ගම ළඟ තිබ්බ කැලෑ රොදක තමයි රෑට මුළු පළාතේම ඉන්න වවුල්ලු ලැග්ගේ. 

ඔන්න ඉතින් ඉස්කෝලේ යන වයස ආවම, අම්ම තාත්ත කොහොමින් කොහොමින් හරි කොල්ලව දා ගත්ත ටව්ම කිට්ටුව ප්‍රාථමිකේකට.ඒ ඉස්කෝලේ දෙකේ පන්තියේ අපේ ටීචර් උනේ මගේ නෑදෑ වෙන නැන්ද කෙනෙක්. හිටපු ගමං ඒ නැන්ද එයාගේ පුතාවත් අරන් එනවා ඉස්කෝලෙට. කර දඬු උස මහත් උනාට මොකද ඒ කොල්ල මහම මහා සිඟිති මානසිකවත්වයකින් පෙළුණු ගොබිලෙක්.  පොර දන්නවා මට පොරව දිරවන්නෙම නෑ කියල.
ඔන්න දවසක් මුළු පන්තියටම ඇහෙන්න මේකා අහපි.. “ ඉන්දරේ මල්ලි... උඹ ඉන්න ඕනි පුටුවක ඉඳගෙන නෙමේනේ.. උඩ එල්ලිලා නේ .. “ කියල. 

අපේ පන්තියෙත් හිටියා, කලිසම් ඇන්දට මොකද , හොඳම එකෙන් ගවුන් වලට හරි යන සෙට් එකක්. ඔන්න ඉතින් උන්ට ඉවසිල්ලක් නැතිව ගියා, ඒ කතාවේ අග මුල දැන ගන්න කල්. අර පෝරිසාදයත් ඉතින් හොඳට ලුණු ඇඹුල් දාල දුන්න , ඉන්දරේ එන්නේ වවුල් කැලේ ඉඳල... ඒක හින්ද මේකා ඉන්න ඕනි අර බාල්කෙ එල්ලිලා කියලා....

ඔන්න හරියටම වයස 8යි... දෙකේ පන්තියේ නසරානියෝ ටික ඉන්දරේ ව “කිරි වව්ලා” කියලා බව්තීස්ම කරන කොට. කොයි හරි ආත්මෙක කරපු පව් පඩිසන් දෙනකල්ම පස්සෙන් එනවා කියන එක පට්ටම ඇත්ත කියල තේරුනේ, අර දෙකේ පන්තියේ ඉන්දරේගේ “වවුල්” නාමය බව්තීස්ම කරන්න එකෙන්ම පෙරමුණ ගත්ත එකෙක් ශිෂ්‍යත්වේ පාස් වෙලා ... ඉන්දරේ ගිය අලුත් ඉස්කෝලේ.. ඉන්දරේ  ගිය අලුත් පන්තියටම පාත් වෙච්ච දවසේ තමයි.

ආයේ ඉතින් අලුතින් කියන්න දෙයක් නෑනේ. අලුත් ඉස්කෝලේ , අලුත් පන්තියේ කොල්ලෝ, “ඉන්දරේ” නම දැන ගන්න කලින් ඔන්න දන ගත්ත  “කිරි වවුල්” සීන් එක. ඉන්දරේ ට ඉතින් පට්ට මල. ඇයි අප්පා, හැමෝටම ලස්සන ලස්සන නම්, ඉන්දරේ විතරක් “වව්ලා”. ඉන්දරෙත් ඉතින් එහෙම ලේසියෙන් ගේම අත අරින පුතයෙක් නෙමේ නේ... මාසයයි ගියේ, පන්තිය නිකන් සත්තු වත්ත වගේ... ඉන්න තරමක් ඉන්නේ බඩගාන එවුනුයි.. පියාඹන එවුනුයි... කකුල් හතරේ එවුනුයි...

එවකට අපේ පන්ති බාර ගුරු උත්තමයටත් තිබ්බේ පොලිස් බල්ලෙකුට තියන ඉව. එතුමා කොහෙන් කොහෙන් හරි හොයා ගත්ත මේ නම් රේජිස්ටාර් කරන සීන් එක පිටි පස්සේ ඉන්නේ ඉන්දරේ කියලා. ඔන්න ඉතින්, අම්මට ආවා සිතාසි ගෙදරටම. මෙකගෙන් නම් කවමදාවත් ගැලවීමක් නෑ කිය කියා.. ඉන්දරේට ආඩපාලි කිය කියා ඔන්න අව කියමුකෝ අම්ම , අපේ සර් උත්තමය ව බැහැ දකින්න. අම්මව දැක්ක ගමන් සර් අහපි, “ ආ ඉන්දරේ ගේ අම්මේ... මේ කොලුගෙ තාත්තා එහෙම වැඩ කරන්නේ ... උත්පැන්න ලියාපදිංචි කරන කන්තොරුවේද” කියල...අම්මත් උතුර දකුණ මාරු වෙලා උඩබිම බලද්දී... සර් කියනවා “ නෑ ඉතින්.. කොල්ල මෙහෙ දිගට හරහට අනිත් ළමයින්ට නම් රෙජිස්ටාර් කරද්දී... මම හිතුව ඒත්, තාත්තා ගෙන් ආපු ආබාශයක්වත් ද කියල “..

කොහොමින් කොහොම හරි, සර් ගේ පන්තියේ ඉන්න කල් ,,,ආයේ ඒ වැරැද්ද කරන්නේ නෑ කියන පොරොන්දුව මත ඔන්න අත් හිටවූ දඬුවම් ප්‍රකාශයට පත් කළා. ඔහොම නෙමෙයි, උපරිමාධිකරණයෙන් කිව්වත්, කිව්ව පලියට ඔලුව නමන්න ඉන්දරේ ගේ හිත අදි මදි කරනවා... එත් ඉතින්, මුන් වරෙන්තු නිකුත් කරන්නේ අර අහක ඉන්න අසරණ අම්මටනේ... අම්මට දුක් දෙන්න තියන අකමැත්තටම, ඉන්දරේ හිත හදාගෙන පැත්තකට උනා ඔන්න.

හැබැයි ඉතින්.. ඉන්දරේ වගේම රෙජිස්ටාර් සීනියර් උත්තමයල ඉස්කෝලේ ඉතිහාසයේ තව ඉඳල තියනවා කියල ඉන්දරේ ට තේරුනේ A/L කාලේ. ඒ කාලේ , පොල් ගහක් වගේ උසට හිටිය පන්ති බාර සර් ට කොල්ලෝ කිව්වේ “පලන්චියා” කියල. ඔන්න කියන තැනක දිවුරන්නම්, ඒක නම් මම දාපු නමක් නෙමෙයි හොඳද....

හැබැයි ඉතින් මේ “පලංචි සර්” ගෙන් ...පන්ති බාර වැඩේ හරියට කෙරෙන්නේත් නෑ... උගන්නන වැඩේ හරියට කෙරෙන්නේත් නෑ... කොටින්ම කියනවා නම්, මෙලෝම රහක් නෑ කියල මාසෙන් දෙකෙන් කොල්ලන්ට තේරුණා. ඒත් ඉතින් මොකාටද දෙය්යනේ ඕක කෙලින් කියන්න පුළුවන්....
ඔන්න දවසක් ලමයි ඉන්ටවල් එකට එලියට ගිහින් එද්දී, “පලංචි සර්” ඉන්නවා , ඉනට අත් දෙකත් තියාගෙන... කළු ලෑල්ල දිහා බලාගෙන. මූණට වී මිටක් දැම්ම නම් තප්පරෙන් පොරි වෙනවා... කොල්ලොත් ඉතින් එබිලා බැලුව, කළු ලෑල්ලදිහා... සර් ව මේ තරම් යක්ෂා වේශ වෙන්න තරම් ,,,මොකක්ද ඒකෙ තියෙන්නේ කියල.  දෙය්යෝ සාක්කි, දන්නවද පොල් ගෙඩි අකුරෙන් එකේ ලියල තිබ්බේ මොකක්ද කියල...

“පලන්චියක් විකිණීමට තිබේ ”....

හම්මෝ... සර් නොකළේ ,,, රජයේ රස පරීක්ෂක ගෙන්නපු එක විතරයි...හැබැයි පොරට ලොවෙත් හොයා ගන්න බැරි උනා, කව්ද මේක කලේ කියල...අහල පහල පන්ති වල සර් ලාටත් මේක ආරංචි වෙලා හිනා. මොකෝ හැමෝම දන්නවා ,, පොර අයිස් කන්දක් කියල.... ඉතින් ඒ සර් ලත් ලියපු දේ එළිපිට අනුමත නොකලට, හිත යටින් සතුටු උනා.

ඔන්න දැන් ඉන්දරේ රහසක් කියන්නයි යන්නේ ... හැබැයි ඉතින් මුල් වතාවට තමයි ඔන්න මාධ්‍යට කියන්නේ හොඳේ... එදා අපේ පන්තියේ එක ජුදාස් කෙනෙක් හරි හිටිය නම්, ඒ වැඩේ කරපු එකා පාවල දෙන්න, අද මේ බ්ලොග් එක ලියන්න ඉන්දරේ කෙනෙක් නෑ ඔන්න.....  J J

හැබැයි ඉතින්... ඉන්දරේ නම් කියන්නේ, අහිංසක දෙමව්පියෝ, වෙලාවල් බලලා... අකුරු ගලපලා... ඒ කාලේ නම් අරිසෙන් අහුබුදුට හරි, දැන් නම් එයාගේ දුවට හරි සල්ලිත් ගෙවලා.... දාන නම් වලින් කතා කරන්නේ නැතිව, වෙන නම් දාන එක.. මහම මහා ආනන්තරීය පාප කර්මයක් කියල...


හැබැයි ඉතින්, ඉන්දරේ ට නම් ඒ පව් අදාල වෙන්නේ නෑ.. මොකද, ඒ පව් ඔක්කොම අනුමෝදම් වෙන්නේ, අර දෙකේ පන්තියේ (නැන්ද) ටීචර් ගේ ...සිඟිති මානසිකත්ව ලෙඩෙන් පෙළුණු කොල්ලටනේ.. ඒකනේ පොඩි කාලෙම මට නම් දාලා මාව මේ නරා වලට ඇදලා දැම්මේ... 

2 comments: