Friday, August 14, 2015

කොහොමද කැම්පස් ජීවිතේ: විශිෂ්ටයි සර් ,,,,,,, ඒ කාලේ කෑම බීම එහෙම: අති විශිෂ්ටයි සර්



Image result for rice with dhalකැම්පස් ජිවිතේ පටන් ගත්ත අලුත බෝඩින් වලට ගාල් වෙච්ච අපිට ඒ කාලේ තිබ්බ ලොකුම අවුල තමයි හරි හමන් කෑමක් බීමක් බඩට වැටෙන්නේ නැති එක. A/L ඉවර වෙලා කැම්පස් පටන් ගන්න කල් ගෙදර හිටපු කාලේ අම්මල බඩ කට පිරෙන්න කවල පොවලා එවපු එවුන්ට කැම්පස් කැන්ටිමේ කන්ඩ තිබ්බේ පුන්නක්කු වගේ කෑම. 

කොල්ලෝ කිව්වේ කොයි වෙලාවේ හරි පොලිසියෙන් පැනල කැන්ටිමේ අන්කල් ව කුදලන් යනවා පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට කියල. මොකෝ කැන්ටිමේ බත් එකට දෙන චිකන් කෑල්ල කවදාවත් පිහියෙන් නම් එච්චර පොඩියට කපන්න බෑ... ඩයිනමයිට් දාලා කුකුලව පිපිරෙව්වොත් මිසක්.

ඉතින් කැන්ටිමේ කෑම වල හැටි සොබාවේ දැනන් හිටපු වටේ පිටේ ගෙවල් වල මිනිස්සු සුළු හා මධ්‍යම පරිමාණ ටයිප් එකේ කෑම බිස්නස් පටන් අරන් තිබ්බා. කැන්ටිමේ කෑම කාලා රස නහර වේලිලා ගිය කොල්ලන්ට මේ ගෙවල් වල කෑම දැනුනේ දිව්‍ය භෝජන වගේ. උන් ඒකට කාලගුණ සැලකුවේ කොහොමද දන්නවද.. ඒ ගෙවල් වලට තරු පන්තියේ හෝටල් වල නම් දාලා.. හිල්ටන් , ගලධාරි වගේ...

ඒවත් එක්ක ඈඳුනු රස කතා නම් එමටයි. එකක් කියන්නම්කො....

ඒ කාලේ අපි සති කීපෙකට සැරයක් වගේ සිකුරාදා හවස කෝච්චියේ ගෙවල් වලට එනවා සති අන්ත නිවාඩුවට. ඔහොම දවසක් එද්දී අපේ සෙට් එක කෝච්චියේ සීට් පේලි දෙකක ඉඳගෙන කයිය ගහ ගහ එනවා. ඔන්න ඉතින් මගේ පොඩි වචනයක් වැරදිලා එහා පැත්තේ සීට් එකේ ඉන්න ෆ්රෙන්තෙකුට තද වෙලා.  

“ ඉන්දරේ මේ... වැඩිය සද්දේ දාන්න එන්ඩ එපා..උඹ මට රුපියල් වීසි පහක් ණයත් එක්ක ..” ඔන්න ඉතින් කෝච්චි පෙට්ටියටම ඇහෙන්න උගේ සද්දේ... “මොකක්... ඒ කවදා ගත්ත ණයක්ද? ” මාත් ඉතින් අරින්නේ නැහැ...
“ඇයි මතක නැද්ද උඹට මම හිල්ටන් එකෙන් කෑම එකක් ගෙනත් දුන්නේ පෙරේදා...” එහා පැත්තේ එකා ගහල දැම්ම තුරුම්පුව. 

හප්පට සිරි.. කෝච්චි පෙට්ටියම නිකන් මීයට පිම්බ වගේ.. රුපියල් 25 ට හිල්ටන් එකෙන් කෑම එකක්. සෙල්ලන්ද කොල්ලෝ කිව්වලු. මම මේ කියන්නේ 90 ගණන් වල අග..නැත්තම් 2000 මුල.. ඒත් රුපියල් වීසි පහට. කෝච්චි පෙට්ටියේ හිටපු මිනිස්සු අපි දිහා බැලුවේ අංගොඩින් පැනල යන පිස්සෝ රංචුවක් දිහා බලන ගානට. 

මොකෝ ඉතින් අපි කියන්නයෑ , හිල්ටන් කිව්වේ කැම්පස් එක ළඟ සිරිමා ඇන්ටිගේ ගෙදරට කියල.

ඔය අතරේ ළඟ පාත ගෙවල් තිබ්බ එව්වෝ ගෙදරින් එනකොට ගෙනාවේ සිමෙන්ති කොට්ට වගේ බත් මුල්. මොකෝ උන් දන්නවා ඒක බෙදා ගන්න කැම්පස් එකේ ඕනි තරම් කොල්ලෝ ඉන්නවා කියල. හැබැයි ඔහොම හිත හොඳ ඩයල් අතරේ එලොවටත් නැති මෙලොවටත් නැති අපතයොත් නොහිටියා ම නෙමෙයි. උන් කැමති නෑ කොල්ලෝ ඇවිල්ල උන්ගේ බත් එකට අත දානවට.

ඉන්දරේ හිතුවේ මොන්ටිසොරියේදී, ඉස්කෝලෙදි හැදිච්ච නැති ඒ වගේ සයිකෝ කාරයින්ව අඩු ගානේ කැම්පස් එකේදී හරි හැදුවේ නැත්තම් උන් කවදම හරි සමාජෙට බරක් වෙනවා කියල. උන්ව හදන්න උන්ගේ බත් එකට අත දාන ඉන්දරේ ගැන උන්ට තිබ්බේ පුදුම වයිරයක්.

දවසක් ඔයින් එකෙක් පට්ට බර කල්පනාවක ඇවිදගෙන යනවා කොරිඩෝවක.  ඔය අතරේ පොරගේ කකුල වැදුනා නිදා ගෙන හිටපු බල්ලෙක්ගෙ ඇඟේ. කලබල වෙච්ච පාර කොල්ල බල්ලට සොරි කියපි. ආයේ මොනවද ඉතින්.. ඉන්දරේ නේ දැක්කේ. පහුවදා ඉඳලා බැච් එකේ එකෙක් ඌට නම කියල කතා කලේ නෑ. ඔක්කොම උන් ඌට කිව්වේ “සොරි ඩෝග්” කියලා... කැම්පස් එකෙන් අවුට් වෙන කල් මෑන්ස් මගේ මූණ බැලුවේ නෑ... J

පටන් ගත්තේ කෑමෙන්.. මැද්දේ හරියේදී බලු කතා.. ඉන්දරේ ටත් ඉතින් පීලි පනින්නේ නැතිව කතාවක් ලියා ගන්න බෑනේ ඉතින්.. L

කෑමෙන් පටන් ගත්තට ඉවර කරන්න යන්නේ බීමෙන් ඕන්..අපේ එවුනුත් ඉතින් යුනිවර්සිටි කාලේ ඉගෙන ගත්ත එකත් එක්ක නොකරපු දෙයක් නැහැ. මොකෝ ඉතින් එකෙන්ම මීටර් නේ... හා..හා..

කොල්ලන්ට මහපොල හම්බ වෙන දවසට ඉතින් ආයේ අවුරුදු වගේ තමයි. කට්ටිය ටියුෂන් කරලා..පාට් ටයිම් ජොබ් කරලා හම්බ කරපු ඒවායෙන් පොඩ්ඩ පොඩ්ඩත් ඒ දවස් වලට එලියට ඇදෙනවා. ඔන්න ඉතින් ඔහොම එක දවසක අපේ ෆ්රෙන්තෝ ටිකක් සේටමෝල් උනා කියමුකෝ ඉතින් හන්දියේ තිබුන රෙස්ටෝරන්ට් එකක. බයිට් එකට ඉස්සෝ ද.. දැල්ලොද... බොන්න කූල් කාල්ස්බර්ග් බීර... 

අපි ඉතින් පැය ගානක් තිස්සේ ලක ලෑස්ති වෙන අතරේ අන්කල් කෙනෙක් ආවා ඔෆිස් බෑග් එකකුත් කිහිල්ලේ ගහගෙන, බාර් එකේ කවුන්ටරේ ලඟට. ගත්ත අරක්කු කාලක්. ඇරියා මූඩිය.. කටේ හලා ගත්ත කියන්නකෝ ගොජ ගොජ ගාලා අමුවෙන්ම...
එදා තමයි අපි තේරුම් ගත්තේ අපි සෙට් වෙලා තිබ්බේ බොන්න නෙමෙයි කන්න කියලා...

ඔන්න තව දවසක NGO සෙට් එකක් ඇවිත් කැම්පස් එකට .. තරුණ ප්‍රශ්ණ ගැන සමීක්ෂනේකට. උන්ගෙත් වෙලාව කියන්නේ උන්ට මුලින්ම හම්බ උනේ මාව. උන්ට ඕනි උනේ මම ලවා උන්ගේ සමීක්ෂනේට ළමයි හොයා ගන්න. මම උන්ට මෙන්න මෙහෙම කිව්වා..
“අයියලා ළමයින්ට කතා කරන්න ගිහින් උන්ගේ වෙලාවයි ඔයාලගේ වෙලාවයි දෙකම නාස්ති කර ගන්න එපා.. අර හන්දියේ බාර් එකෙනුයි, වැල පත්තර කඩෙනුයි අහගන්නකෝ.. උන් කියයි අපේ කොල්ලන්ගේ අසහනේ දිග පළල ..ආයේ එකෙන්ම .... ”


ඔන්න ඉන්දරේ අදට නවතින්නයි යන්නේ.. අර කිව්ව කඩේ ගැන තේරුනේ නැත්තම් CD, DVD ප්‍රසිද්ද වෙන්න කලින් කැම්පස් ගිය කෙනෙක් ගෙන් අහ ගන්නකො හොඳේ... J J


Monday, July 27, 2015

ඉන්දරේගේ බැංකු ගිණුම නොහොත් පරම්පරා වෙනස



Image result for bank account
බ්ලොග් එක කියවන සහුර්දයෙක් අහල තිබ්බ, “මොකෝ මේ බ්ලොග් එක නතර වෙලා වගේ.. ඉන්දරේගේ ජීවන අත්දැකීම් ඉවරවත් ද?” කියල...

හ්ම්ම්ම්... ජීවන අත්දැකීම් නම් එමටයි. ඒත් ඉතින් ඉන්දරේත් සංසාර චක්කරේ හැල්මේ දුවන ගැල් බැඳී ගොනෙක් ගානයි. රැකියාව, ගෙදර, ළමයින්ගේ ඉස්කෝල, විනෝද ගමන්, පාර්ටි .... අරව මෙව්වා ඔක්කොම එක්ක ජීවිතේ ෆුල් බිසී...

කාලෙකට පස්සේ පොඩි ඉසිඹුවක් හම්බ උනා පෝස්ටුවක් කොටා ගන්න. ජීවන අත්දැකීම් මතක පොතේ පිටු හිතින් පෙරලද්දී, කතාවකට ලොකුම වස්තු බීජයක් නොවුනත්, පරම්පරා වෙනසයි, ඉන්දරේලා තරුණ කාලේ තිබ්බ දෙමව්පිය දූ දරු බැඳීමයි, ඒ කාලේ සල්ලි ගැන තිබ්බ අල්පේච්ච හැඟීමයි....අලුත් පරම්පරාවේ හාදයෝ එක්ක බෙදා හදා ගන්න පුළුවන් විදිහේ අත්දැකීමක් ළඟ හිත නතර උනා.

ඉන්දරේ ගේ දෙමව්පියෝ මහා ලොකු සල්ලිකාරයෝ නෙමෙයි. දෙන්නම රජයේ සේවකයෝ. ඒත් ඉතින් ඉන්න තැනක් හදා ගෙන, බඩට දෙයක් දාගෙන, කොල්ලටත් උගන්නගෙන කරගෙන ඉන්න පුළුවන් කමක් එයාලට තිබ්බා. ඉන්දරේ පොඩි කාලේ ඉඳලම එකෙන්ම තේරුම් අරන් තිබ්බ දෙයක් තමයි අම්මල උත්සාහ කාලේ, බැංකු පොත් සල්ලි වලින් පුරවන්න නෙමෙයි... හොඳට උගන්නල කොල්ලගේ ඔලුව පුරවන්න කියල.

මේ කතාව පටන් ගන්න දවස ඉන්දරේගේ ජීවිතේ බොහොම වැදගත් දවසක්. එදා තමයි ඉන්දරේගේ විශ්ව විද්‍යාල පාඨමාලාව පටන් ගන්න දවස කියල ලියුම ආවේ. තැපැල් කොමසාරිස් ගේ වැරැද්ද ද, ලියුම් බෙදන පියුම් මාමගේ වැරැද්ද ද දන්නේ නෑ, කොහොමින් කොහොම හරි ලියුම ඉන්දරේට හම්බ උනේ campus පටන් ගන්න දවස් දෙකක් තියා. ඒ අස්සේ මුන් තව වෛද්‍ය වාර්තාවකුත් අරන් එන්න කියල. ඒක නම් හැබැයි ලොවෙත් අවුලක් නැහැ.. මොකෝ ඒ වෙන කොට ඉන්දරේගේ අම්මගේ රෝහල් රාජකාරියට විසි අවුරුද්දක් පිරිලා තිබ්බේ. 

මදැයි කොලා... ඔන්න අම්ම කියනවා, මොකක්ද අවුලක් හින්ද අම්ම වැඩ කරන ඉස්පිරිතාලේ ඩොකා ලා වැඩ වර්ජනයක් ලු. දැන් ඉතින් පලයල්ලකෝ ඈත තියෙන ඩොටේ ඉස්පිරිතාලෙකට, කට්ට කා ගෙන...

ඉන්දරෙලට ඒවා කටු උනාට අම්මලට එහෙම නෑ.. අම්මල කියන්නේ අම්මල... අම්ම බොහොම සන්තෝසෙන් ඉන්දරේත් ඉස්සර කරන් ගියා ඩොටේ ඉස්පිරිතාලෙට, කොල්ලගේ වෛද්‍ය වාර්තාව ගන්න. එදා මහා දෛවෝපගත දවසක්. ඉන්දරේ යි, අම්මයි ගිය කෝච්චිය පීලි පැන්න. කොල්ලට වෛද්‍ය වාර්තා අරන් දෙන්න ගිය අම්මා නතර උනේ ඉස්පිරිතාලේ ඇඳ උඩ..කොන්දේ ඇට දෙකක් බිඳිලා...

campus එකේ ඉන්දරේගේ පලවෙනි අවුරුද්දෙන් තුන් කාලක් යනකල් අම්ම හිටියේ එක තැන් වෙලා. කොහොමින් කොහොම හරි ප්‍රශ්න මැද්දේ ඉන්දරෙත් ඉගෙන ගත්තා. කාලයාගේ ඇවෑමෙන් අම්ම හොඳ වෙලා , ආපහු රස්සාවටත් ගියා. ඒත් ඉන්දරේ දැනන් හිටියා, අම්මල ගෙවන්නේ අමාරු කාලයක් කියල. ඒක නිසා පුලු පුළුවන් විදිහට ටියුෂන්  කරලා, ඉන්දරේ වියදම් පිරිමහ ගත්තා. ඒ කොහොම උනත් ගෙදර ගිය හෙම වෙලේම අම්මල කොල්ලට වියදමට කියල සල්ලි දුන්න.

විශ්ව විද්‍යාලේ 3..4... අවුරුදු වලදී ඉන්දරේ සොෆ්ට් වෙයාර් කොම්පැනියක වැඩ කරපු නිසා, ඉන්දරේගේ අතට හොඳ ගානක් හම්බ උනා. ඒත් ඉතින් ඉන්දරේට කියල වෙනම බැංකු අකවුන්ට් එකක් තිබ්බේ නෑ. වියදම් පිරි මහා ගත්තට පස්සේ, ඉතුරු වෙන සල්ලි ඉන්දරේ අම්මට දුන්නේ අම්මගේ බැංකු පොතේ දාන්න. ඒක තමයි ඉන්දරේ දැනගෙන හිටිය ආරක්ෂිතම සේප්පුව.

ඔහොම කාලය ඉගිල්ලුනා. ඉන්දරේ ඩිග්‍රිය ගහල, හා පුරා කියල රස්සවකටත් ගියා කියමුකෝ. ඔන්න ඉතින් දැන් කුළුඳුල් පඩිය හම්බ වෙන්නත් ලඟයි. ඒ අස්සේ ආව call එකක්, මුල්‍ය අංශෙන්. ඉන්දරේ ඔයාගේ පඩි යවන්න බැංකු අකවුන්ට් එකක්දීල නෑනේ කියල.. හප්පා, ඕක මහා ලොකු කජ්ජක්ද... ඉන්දරේට මතක නැතිව යැ බැංකු නොම්බරේ. ඩග් ගාලා ෆෝන් එකෙන් ම දීල දැම්මා...

ඔන්න දවසයි දෙකයි ගියේ.. finance එකෙන් ආපහු කෝල් එකක්. ඒ පාර නම් එන්නමලු. ගියාම එතන හිටපු මිස් කෙනෙක් කිව්ව “ඉන්දරේ මම හිතන්නේ ඔයා එදා මට ෆෝන් එකෙන් කියපු අකවුන්ට් නම්බර් එක මම වැරදියට ලියා ගෙන ඇත්තේ” .. කියල.  එහෙම කියල අපහු නම්බර් එක දුන්න චෙක් කරන්න. කිසි වැරැද්දක් නෑ.. අකවුන්ට් නම්බරේ එකෙන් ම හරි... ඔන්න ඉන්දරේ ආයෙම කන්ෆම් කරලා දැම්ම..

අර මිස් ගේ නළල රැලි ගැන්නුනා.. “ එතකොට බෑන්ක් එකද  වරද්දල තියෙන්නේ. බෑන්ක් එක කියනවනේ ඒ අකවුන්ට් එක අයිති R.M. චන්ද්‍රා  කියල කෙනෙක්ට කියල”.. අර මිස් හොන්දටම අවුලෙන්...

අපෝ මිස් බොරුවට නේ කලබල වෙලා තියෙන්නේ.. කාටවත් වැරදිලා නැහැ... ඔක්කොම ටික එකෙන්ම හරි.. ඒ මගේ අම්ම.. ඉතින් ඒ අකවුන්ට් එකට තමයි පඩිය යන්න ඕනි” .. ඉන්දරේ මිස්ගේ සැක සංකා දුරු කළා.

ඒ මිස් සමච්චලේට හිනා උනේ නැහැ. බොහොම කරුණාවන්තව මෙහෙම කිව්ව. “ ඉන්දරේ..ඔයාල වගේ තරුණ ළමයිඔහොම හිතන එක ආඩම්බරයක්. ඒත් ඔෆිස් එකේ වැටුප දාන්න නම් ඔයාගෙම නමින් අකවුන්ට් එක තියෙන්න ඕනි” කියල...

හ්ම්ම්ම්.. ඔන්න ඒ කාලේ අපි හිතපු හැටි... දැන් මගේ පොඩි කොලූ තිස්සෙම අහනවා, “තාත්තේ.. මගේ ළමා ඉතුරුම් ගිණුමට ගානක් දාමුද.. එතකොට බැංකුවෙන් තෑගි හම්බ වෙනවා” කියල.. ඔන්න මේ කාලේ...

කම්පා වෙලා තේරුමක් නෑ ...

     ---- පරම්පරා වෙනස කියන්නේ ඕකට තමයි ----

Saturday, May 23, 2015

හොඳට නරකට දෙකට කට මය....




උඹ නම් ඉන්දරේ කවදා හරි නහින්නේ කට හින්ද ම තමයි ... කියල මට කියපු උන්ට වඩා නොකියපු උන් අඩුයි කියලයි මම හිතන්නේ...
මගේ නසරානි කට හින්දා අපේ අම්මා අසරණ වෙච්ච සිද්දියක් මට තාම මතකයි.. ඒ මම සෑහෙන්න පොඩි කාලේ.  

අපි පොඩි කාලේ අම්මල එක්ක ගිහින් නෑවේ වත්ත පහල තිබ්බ ලිඳෙන්.. ඒකෙ වතුර හරි ම සනීපයි. ඒත් දවසක් අපි නැන්ද කෙනෙක්ගේ ගෙදර ගිය වෙලාවක ඒ ගෙදර නාන කාමරෙන් නෑවා.. හම්මෝ...බිමට, බිත්ති වලට පිඟන් ගඩොල් අල්ලලා... වතුර මලෙන් වතුර එන්නේ නිකන් දිය ඇල්ලකින් වගේ... ඒ වගේ අත්දැකීමක් හම්බ උනේ පලවෙනි වතාව හින්දද කොහෙද මගේ ඔළුවට ඒක තදින් කා වැදිලා තිබ්බා....

ටිකකාලෙකට පස්සේ ආරංචි උනා... ඒ නැන්දා නානකාමරේ ලිස්සල වැටිලා අත කඩා ගෙන කියලා...මට මාර දුකයි.ඔන්න දවසක් අපේ අම්මා තව කෙනෙක්ට කියනවා සිද්දිය. “ අනේ බලන්නකෝ ඒයි... පද්මා අක්කා බාත් රූම් එකේ ලෙස්සල වැටිලා නේ ."

මමත් ඉතින් ඇන්ටනා දා ගෙන අහන් ඉන්නවා... “ බාත් රූම්” ???? ..වචනේ නම් හොඳට හුරුයි. මොකද  මොන්ටිසෝරි යේ චූ කරන්න යන්න ඕනි උනාම අපිව ගිරව් වගේ පුරුදු කරලා තිබ්බා... “ටිචර්ර්ර්ර්ර්....May I go to the bathroom?.” කියල අහන්න.
ඒ එක්කම මතක් උනා..මොන්ටිසෝරියේ චූ කරන්න යන පුංචි කක්කුස්සි කෑල්ල.. ඔන්න ඒක තමයි ඉන්දරේ දන්නා බාත් රූම් එක....

අපේ අම්මට නම් පිස්සු,,,,පද්ම නැන්ද වැටුනේ කක්කුස්සියේ යැ.. අර ලස්සන නාන කාමරේ නේ.. ඒ කාලේ මට තිබ්බේ වැඩිහිටියන්ගේ කතා වලට ඇහුන් කන් දෙන නරක පුරුද්ද විතරක් නෙමෙයි... එයාලගේ කතා වලට හොට දාන පුරුද්දත් මට අඩු නැතිව තිබ්බා...
මම ඉතින් වෙඩිල්ල වගේ වාර්තා කළා..අම්මයි අර ඇන්ටියි කතා කර කර හිටපු තැනට. “ අම්මේ... අම්මට පිස්සු.. පද්ම නැන්ද වැටුනේ බාත් රූම් එකේ නෙමෙයි.. නාන කාමරේ නේ...”

හවස තාත්තා වැඩ ඇරිලා ආවම අම්මා මේ සිද්දිය කියල හොඳටම බැන්නෙවවා, වාචාල කට වහගෙන ඉන්න කියලා ...ඒත් මට ඒකෙ දිගක් පළලක් තේරුනේ ගොඩ කාලෙකට පස්සේ...

මේ වගේ සිද්දි නම් අනන්තයි අප්‍රමානයි... ඒත් මම ඊ ලඟට කියන්න යන්නේ ලව් කරන කාලේ වෙච්ච සිද්දියක්. ඒ කාලේ ඉන්දරේ ඉඳල හිටලා යනවා කෙල්ලගේ ගෙවල් පැත්තේ. ඒ ගියාම ඉතින් කෙල්ල පස්සේ වැටිලා දඟලන්නේ නෑ...අම්මල අක්කල එක්ක එකතු වෙලා විහිළු කරනවා...කුස්සියේ වැඩ වලට උදව් කරනවා....වත්තේ පිටියේ ඇවිදිනවා... හැබැයි මගේ කට ගැන දන්න හින්ද කෙල්ල මට ලේසියෙන් තාත්තා ලඟට නම් කිට්ටු වෙන්න දුන්නේ නෑ...තාත්තා පට්ට සාහිත්‍ය කාමියෙක්. ආයේ එකෙන්ම ඇසූ පිරූ තැන් ඇති බහුශ්‍රුතයෙක්.

කෙල්ල මොන නීති දැම්මත් මට මාර ආසාවක් තිබ්බේ තාත්තා එක්ක චැට් එකක් දාන්න. ඔන්න දවසක් මගේ පෙරැත්තය හින්දම කෙල්ල පර්මිසෝන් දුන්නා.... හැබැයි ඉතින් කට පරිස්සම් කර ගන්න පොරොන්දුව උඩ...
ඔන්න ඉතින් දැන් සංවාදය නැගල යනවා... මාත් මම කියවපු පොත් ගැන එහෙම කියල ලකුණු දාගෙන යනවා. එක පාරටම තාත්තා අහපි.. “ පුතා සති අන්ත පත්තර එහෙම බලන්නේ නැද්ද ?.  “ කියල.

ඒ කාලේ හැම සති අන්තෙකම වරද්දන්නෙ නැතිව මම එක්තරා පත්තරයක් කියවන්න පුරුදු වෙලා හිටියා. ඒත් ඒ ආසන්න කාලයේදී, පත්තරේ මැද පිටු දෙක ප්‍රසිද්ධ මහාචාර්ය වරු දෙන්නෙක්ට වෙන් කරලා තිබ්බා,  සමාජ හා දේශපාලන විවරණ වලට.. මෙලෝ යකෙකුට තේරෙන්නේ නෑ... කොටින්ම මෙලෝ රහක් නෑ....

ඔන්න ඔය කේස් එක හින්ද මට පත්තරෙත් එපා වෙලා තිබ්බේ..මම තාත්තට කිව්ව විස්තරේ.. අර මැද පිටු දෙකත් ප්‍රයෝජනවත් දේකට වෙන් කළා නම් නියමයි කියලා.. තාත්තත් ඉතින් අහගෙන ඉන්නවා හූ මිටි දිදී.. ඔන්න ඒ අව් අස්සේ කෙල්ල කෑ ගහනවා කුස්සියේ ඉඳලා, “ඉන්දරේ.. අම්මල, අක්කල වත්ත පහලට ගියා කොස් කඩන්න, අපිත් යමුකෝ “ කියල...
ඕකනේ කියන්නේ ගැනුන්ගේ මොලේ හැඳි මිටේ කියල... මෙතන මාමණ්ඩියයි බෑනයි දෙන්න පට්ට බුද්ධිමය සංවාදයක්.. එයා ඒ අස්සේ කතා කරනවා කොස් කඩන්න යන්න.. කාට කියන්නද මේවා ඉතින්....

පස්සේ තමයි දන්නේ ..කෙල්ල මාව ෆුල් ට්‍රයි කරලා ...එතනින් එලියට අරන් තියෙන්නේ ඇයි කියල...  තාත්තා ඒ පත්තරේ කියවන්නේ අර මහාචාර්ය වරු දෙන්නගේ ලිපි දෙක විතරලු,,, අර මම වීසි කරන්න කියපු පිටු දෙක.. කොහොමද ආතල් එක....කට හින්ද තව පොඩ්ඩෙන් කෙල්ල දෙන්නෙත් නෑ මාමණ්ඩි...

හැබැයි ඉතින් කට මගේ හොඳට හිටපු අවස්තාත් තිබ්බ. ඔන්න කැම්පස් අවුට් වෙලා මම යනවා හා පුරා කියල.. එක් තරා ආයතනයක සම්මුඛ පරීක්ෂණයකට... එකේ ඉන්ටව් පැනල් එකේ ඉන්නවා අපේ කැම්පස් එකේ හිටපු යම් මට්ටමක පරිපාලකයෙක්... ඔන්න ඉතින් ඉන්ටව් එක නැගල යනවා... එක්කෙනෙක් ඇහුවා...ඉන්දරේ අහවල් විශ්ව විද්‍යාලේ අහවල් පාඨමාලාව නේද කාලේ... ඒක ගොඩක් පිලි ගත්ත පාඨමාලාවක්.. කියල.. මාත් ඉතින් කොලර්ස් අප්..මෙන්න අරයා එක පාර පැනල කියපි... නෑ නෑ ... ඒ පාඨමාලාවේ ප්‍රශ්න වගයක් තියෙනවා..සමහර දේවල් හරියට යාවත්කාලීන වෙලා නැහැ කියල....

පැනල් එකේ අනිත් අය ටික ඉන්නවා තක්කු මුක්කු වෙලා.... මට යකා මල...
“ඔව්, එහෙම ප්‍රශ්නයක් තියෙනවා..අපිත් සමහර අලුත් දේවල් ඉගෙන ගත්තේ තනියම. හැබැයි ඉතින් ඒක ළමයින් ගෙ වැරැද්දක් නෙමෙයි...හිටිය පාලකයන්ගේ වැරැද්දක්.” ජොබ හම්බ උනත් එකයි..නැතත් එකයි.. කියන්න ඕනි දේ කියල මම එලියට ආවා...
ඔන්න සතියෙන් මට කෝල් එක ආවා.. සිලෙක්ට් උනා කියල... පස්සේ ආරංචි උනා, ලොක්ක එදා ඉන්ටව් එක ඉවර වෙලා අනිත් අයට කිව්වලු.. මෙන්න මේ හාදයා තව කොහේ කොහේ හරි මට බැන බැන යන්න කලින් අපි මෙතනට ගම්මු කියල.... එතනින් අස් වෙනකල් හැබැයි බොහොම සන්තෝසෙන් වැඩ කළා...

මොනවා උනත් අපේ අම්මා තාත්තා ගැන දන්න හැමෝම කියන්නේ මගේ කට ආරෙට ආව එකක් නම් නෙමෙයි කියල. ඒ උනාට මගේ කට එහෙම්මම අච්චුවේ තියල ඇවිල්ල තියෙනවා මගේ ලොකු කොලූ ට නම්... වයිපරේ කියන්නේ කොලූ බඩේ ඉන්දැද්දී ප්‍රර්ථනා කලේ .. “ අනේ .. ඉන්දරේගේ ඕනි දෙයක් කොල්ලට එහෙම්මම පිහිටන්න.. හැබැයි අර වාචාල කට විතරක් නැතිව.”  කියලලු.

හැබැයි ඉතින් ඒ ප්‍රාර්ථනාව නම් සොරි ඩොට් කොම් කියල දැන ගත්තේ කොලූ ට යන්තම් බහ තෝරන්න පුළුවන් කාලේ.  ඒ කාලේ මේකාට තිබ්බේ පුදුම විසයක්.. ඉතින් මම ආදරේට කිව්වේ “ජල්බිරිස්” කියලා. දවසක් පුටුවක එල්ලිලා පැද්දි පැද්දි ඉඳල වැටිලා අත කඩා ගත්තා. දොස්තර ලඟට ගියාම...දොස්තර අහපි “ මොකක්ද චූටි බබාගේ නම.... කියල. මම නම කියන්න හදද්දිම මෙන්න මේකා මුළු ඉස්පිරිතාලෙට ම ඇහෙන්න කට පුරෝලා කියපි... “ ජල්බිරී....ස්” කියල.... වටේ හිටපු නර්ස් ලාටත් හිනා.. කට්ටියම හිනා වෙන කොට කොලූ ට තේරුණා මොකක් නමුත් අවුලක් කියලා.... ඊට පස්සේ කියපි “ නෑ... නෑ... ඒ තාත්තා දාපු නම ..” කියලා.... එදා අපි ඉස්පිරිතාලෙන් ආවේ රෙදි නැතුව.... මොනව කරන්නද... තාත්ත කරපු දේ පුතා කලේ නැත්තම් ඒකා නොට්ටිගේ පුතා කියනවලු නේ.... 

Monday, April 20, 2015

ගුලි කෑ විත්ති

ඉන්දරේ පොඩි කාලේ ලොකු උන් එක්ක ගැවසෙන්න තිබ්බේ පුදුම ඇම්මක්. අපේ තාත්තගේ පවුලේ කොල්ලොම 7 ක්. තාත්ත තමයි වැඩිමලා... ඉතින් මම පොඩි කාලේ චූටි බාප්පා එහෙම ගොඩක් තරුණ කොලු ගැටයෙක්. මම උන් එක්ක එහෙ මෙහෙ ඇවිදින්න පුරුදු උනේ වයස 10..11 කාලේ ඉඳලා....

ඔන්න දවසක් උන් සෙට් එක ගැන්සි බහින පොට් එකකට අරන් ගියා මාවත්.  හැබැයි ඉතින් එතන කට්ටිය එකතු වෙන තැන මට තහනම්. මම කලේ වටේ පිටේ ඇවිදලා, ගඩා ගෙඩි කාලා, ආතල් එකක් ගත්ත එක. ටික වෙලාවකට පස්සේ පටන් ගත්ත කියමුකෝ අපහු එන්න, සෙට් එක. පොඩ්ඩ දුරයි ආවේ, එකෙක් ඉඳ ගත්තා ළඟ තිබ්බ පත සියඹලා ගහක් යට. ඉඳගෙන ආයේ ලොවෙත් රංග විශාරදයෙකුටවත් බැරි තරම් හොඳට පොර පටන් ගත්ත කියහල්ලකෝ අභිනව රංගනයක්... මාළු දැල වීසි කරනවා..අදිනවා... වීසි කරනවා..අදිනවා.. ඒ මදිවට යාලුවන්ට කතා කරනවා අදින්න උදව් කරන්න... ටිකකින් තමයි මට තේරුණේ, අභිනයක් වගේ පෙනුනටපොර ඒක කරන්නේ, ඇත්තටම මාළු බානවා කියල හිතා ගෙන කියලා... මට මේක පට්ට ෆන් උනාට බාප්පල හිටියේ  සොරි වෙලා. උන්ගේ කතාවෙන් තමයි මට තේරුනේ මේ සීන් එක ගුලි කියල ජාතියක් කාලා වෙච්ච දෙයක් කියලා.. යකෝ, ගුලි කියන්නේ පට්ට කෑමක් නේ... 

මම ගෙදර ගිය ගමන් අම්මට කිව්වේ, “අම්මේ මටත් ගුලි ගෙනල්ල දෙන්න .. ඒවා කාපුවහම පට්ට ආතල්..” කියලා. අම්මට  එක පාරටම තේරුනේ නැති උනාට, තාත්තා ගෙදර ඇවිල්ල තියමු විමර්ශනය ඉවර උනේ චූටි බාප්පට අපේ ගෙදර තහනම් කලාපයක් වෙලා....

ඔන්න ඉතින් කාලය පියෑඹුවා... A/L විභාගේ ඉවර වෙලා,  කොල්ලෝ සෙට් එක ගියා උණවටුනේ නාන්න. අපි සී බාත් එකක් දාල පට්ට ෆන් එකේ ඉන්න කොට, එක ගොබිලෙක් විතරක් ගොඩට වෙලා ඉන්නවා.. ඒකට මූදු වතුර ඇලජික් ලු...පොර ඉන්නවා ක්ලීන් සූට් ගහල, සන් ග්ලාසස් දාල, පට්ට ඇඩ් එක දාගෙන... ඔන්න ටික වෙලාවකින් මේකා ඩෙනිමයි, ෂර්ට් එකයි, සන් ග්ලාසසුයි ඔක්කොම පිටින් පැන්න කියහල්ලකෝ වතුරට ජබෝහ් ගාලා...පස්සේ බලන කොට තමයි දන්නේ, මේකා දහයට ගනින්න බෑ වගේ හිටියට ගුලි කාපර් කෙනෙක් කියල. වටේට කැටයම දාගෙන හිටියට අන්තිමට බීච් එකේ හිටිය ඔක්කොමට පට්ට චාටර්...

මගේ ජීවිතේ ගුලි සම්බන්ද අත්දැකීම් වල, එකෙන්ම පට්ටම සීන් එක උනේ කැම්පස් කාලේ...අපේ සෙට් එකේ හිටිය නිවුන්නු දෙන්නෙක්.. පිස්සුම තමයි කෙලින්නේ,,,, ගුලි කන්නේ නිකන් අපි ටොෆි කනවා වගේ. ඔන්න දවසක් කැම්පස් නිවාඩු කාලේ අපේ සෙට් එක ගියා කෑගල්ල පැත්තේ ෆ්රෙන්තෙක්ගේ ගෙදර. නම නම් මොකක්ද මන්ද, හැබැයි අපි ඌට කිව්වේ මැණිකේ කියල. මොකද හැටි සොභාවයෙන් ඒකා නිකන් ගම්බද ලලනාවක් වගේ...

ඔන්න මැණිකේගේ අම්මා අපිව පිළිගන්න තොරන් ගහල තිබ්බේ නැති ටික විතරයි. ආගන්තුක සත්කාරය ආයේ ලොවෙත් නැති තරම් සුපිරියට... ඔන්න දවසක් හවස් වරුවක ගුලි කන එවුන් ගුලියක් එහෙම කාල, ෆුල් ආතල් එකේ ඉන්න කොට හම්බ උනා, මතක් වෙන කොටත් කටට කෙල උනන, අන්නාසි බීම එකක්. බීම එක බීලා විනාඩි 5යි ගියේ, අර නිවුන්නු දෙන්නගෙන් එකෙක් පෙරේතය පොලේ ගැහුවා වාගේ, බිම පත බෑවුනා, කටින් සෙම දාගෙන.. දඩ බඩ ගාලා, අපි ගෙනිච්ච මූව ඉස්පිරිතාලේ. තිබ්බ බයටම අපිත් ඩොකාට කිව්ව කතන්දරේ, ගුලි කාලා, අන්නාසි බීම බීලා, ඉන්න කොට තමයි කේස් එක පත්තු උනේ කියල..ඩොකා බලල කිව්ව, ලොකු සීන් එකක් නෑ...ගුලියි අන්නාසියි පොඩ්ඩක් විෂ වෙලා තියෙන්නේ... දවසක් දෙකක් විතර ඉන්න වෙයි කියල..

දැන් ඉතින් මැණිකේගේ අම්මට කියන්න පුළුවන් යැ රෙද්දක් ඇඳගෙන මේ කතාව.  ගෙතුවා ඩග් ගාලා කතාවක්, මේකට ෆිට් එක නිතර හැදෙනවා කියල... අනිත් නිවුන්නා කියන කොට, ඇන්ටි පිලි ගතතා ආයේ ලොවෙත් අවුලක් නැතිව...ඔන්න පහුවදා දවල් අපි ලෙඩා බලන්න ඉස්පිරිතාලේ යන කොට, වාට්ටුවේ පට්ට ගාලගෝට්ටියක්. ගෑණු කෙනෙක් දෙස් දෙවොල් තියනවා , ආයේ හතර වරන් සාප කර කර...කිට්ටු කරලා බලද්දී, දන්නවද කවුද කියලා... අර හොස්පිටල් ඇඩ්මිට් කරපු එකාගේ අම්ම යකෝ,,, බනින්නේ එයාගේ පුතාට විතරක් නෙමෙයි, යාලුවෝ වෙච්ච අපිටයි, අපේ හත් මුතු පරම්පරාවටයි ඔක්කොමට... කොහොමද , සැප කනේ නේද,,,

අපිට පුදුමයි කොහොමද, ඒකාගේ අම්මට මැසේජ් එක ගියේ කියල. පස්සේ හොයල බලද්දී, මැණිකේගේ අම්මා කොහෙන්ද මන්ද අරුන්ගේ ගෙදර නම්බර් එක හොයාගෙන, කෝල් කරලා කියල ඒ අම්මට, “අර ඔයාගේ පුතාට නිතර හැදෙන ෆිට් එක හැදිලා , කෑගල්ලේ ඉස්පිරිතාලේ” කියල... කවුරු නැතත් අම්මා දන්නවනේ පුතාට ෆිට් එක තියා ඉහෙන් බහින ලෙඩක් නෑ කියල... අම්මා ඉතින් ඇවිල්ලා , අසුරු විදිල්ලෙන් ඉස්පිරිතාලෙට.... අර එලොවටත් නැති මෙලොවටත් නැති දොස්තරයා දිග ඇරලා පුත්තරයාගේ කෙරුවාව ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර.. අපි සෙට් එක එදා ඉස්පිරිතාලෙන් එලියට ආවේ රෙදි නැතිව...

මගේ ගුලි සීරීස් එකේ අන්තිම කතාව ඔන්න..මේක නම් උනේ ලඟදි.. අපේ ෆ්රෙන්තෝ ටිකක් යාලුවෙක්ගෙ ගෙදර බැල්කනි එකේ, කොටු කොටු සීන් එකකට සෙටමෝල් වෙලා ඉන්නව ඔන්න.. බැල්කනි එක පට්ට ලොකුයි කට්ටිය පොඩි මේසයක් වටේ හිතේ හැටියට ඈත් කරගෙන...රවුමට පුටු තියාගෙන හිටියේ. ටික වෙලාවකින් එකෙක් දෙන්නෙක් පස්ස බල බල පුටු මෙසේ ලඟට ඉස්සරහට අදිනවා... ආයේ පොඩ්ඩකින් අපහු ඉස්සරහට අදිනවා.. හැබැයි ඉතින්, උන් එහෙම පුටු ඉස්සරහට ඇද්දට බැල්කනියෙන් වැටෙන්නේ නැතිව බල්ටි ගහන්න උනත් වටේ ඉඩ තිබ්බ...කොච්චර ඉඩ තිබ්බත් උන්ට ෆීල් වෙලා තිබ්බේ ආයේ පොඩ්ඩ එහා මෙහා උනා නම්, නවතින්නේ අඩි සිය ගානක ප්‍රපාතයක කියල.. ඒක තමයි ගුලියි, කොටු කොටු සීනුයි කලවම් උනාම එන සුපර් ඩුපර් පවර් එක...


අපේ පරම්පරාවේ ගුලි කාපු එවුන් තමන් පට්ට පොරවල් කියල හිතාගෙන හිටියට, අලුත් පරම්පරාවේ ඇචි කිචි ඉස්කෝල කොල්ලෝ එක්ක බැලුවම, අපේ උන් ලිලි පුට්ටෝ...ඇයි අප්පා, අපේ මොකාටද පුළුවන්, හෙයාර් ජෙල් කන්න... මොකාටද පුළුවන්, දවසට තේ හැන්දක් බොන්න කියන කැස්සට දෙන කොරෙස් බෝතලේම විනාඩියට ගහල දාන්න. ගිනස් යන්න ඕනි වැඩ ඔව්ව.....

Monday, March 23, 2015

ඉන්දරේ ගේ ප්‍රථම ප්‍රේම ( දුත මෙහෙවර )




Image result for love messenger

එකල ඉන්දරේ ලා වයස 15 වගේ පැඟිරි කොල්ලන්ය..මේ කතාවේ කතා නායක මගේ සුමිතුරු සාමන්තයා ඇතුළු බොහොමයක් අකුරු කලේ පිරිමි පාසල් වලය. ඇටෙන් පොත්තෙන් එලියට එන කොට ටියුෂන් පන්ති වල දකින ලස්සන ලස්සන කෙලි පැටික්කියන් උන් දැක්කේ අඟහරු ලෝකෙන් ආපු අමුතු සත්තු වගේය. හැබැයි ඉතින් ප්‍රාථමික පාසල් අවධියේ පටන් කෙලි යහළුවන්ගෙන් අඩුවක් නොවූ ඉන්දරේට නම් ඉලව් ලව් පිස්සුවක් තිබුනේ නැතත් උන්ගේ ආශ්‍රයේ අඩුවක් ලොවෙත් තිබුනේ නැත. මේ අල්ල පනල්ලේ තමයි සාමන්තයාට ටියුෂන් පන්තියක හම්බ උන, මගේ හොඳම බොක්කක් උන, "මාලිකා" කියන කෙලි පැටික්කිය ගැන මෙව්වා මෙව්වා  ෆීලින්ග් එකක් මෝදු වෙන්ඩ පටන් ගත්තේ. ඌටත් ඉතින් පිට සක්වල ජීවියෙක්ට ලව්  කරන එකේ පොඩි ලල් එකක්  තියනවා කියලා සිතෙන්නට ඇත.


 තමන්ට හෙන ගහල ගියත් යාළුවන්ට බොක්ක  දෙන මෝඩ පුරුද්ද ඉන්දරේට තිබ්බේ පොඩි කාලේ ඉඳලමයි. ඔන්න ඉතින් සාමන්තයගේ ලව් සිහිනය යථාර්තයක් කිරීමේ බර කරට අරගෙන ගැහුවා ආයෙත් ලොවෙත් නැති ප්ලෑනක්. පළමු පියවර වුනේ සාමන්තයාගේ හදවත දිය කරලා හදපු තීන්තෙන් ලව් ඉලව් එකී මෙකි සියලු හැඟීම් වචන ගත කරලා ලියුමක් ලියවීමයි. හැබැයි ඉතින්  ලියෙව්වට පස්සේ තමයි තේරුනේ අමාරු ලියුම දී ගන්න එක කියල. ඒකටත් ගැටයක් ගහපු ඉන්දරේ බදාදා හවස විද්‍යා පන්ති ඉවර වෙලා හම්බ වුනා මාලිකාව. "මාලිකෝ ...අන්න අර සාමන්තයා ඔයාගේ පොත ඉල්ලනවා නෝට්ස් වගයක් ලියා ගන්න. සෙනසුරාදා ගණන් පන්තියේදී අපහු දෙයි .." ඉල්ලුවේ මම නේ.. කෙල්ලත් පොත දුන්න දෙපාරක් හිතන්නේ නැතිව ...


ඔන්න ඉතින් ,,,ඒ  අයිතිහාසික ශනිදාව උදා  උනා.. සාමන්තයගේ ආත්මයම කැටි කරපු ලියුම් කරදහිය පොත අස්සේ දාලා , මම පොත ආපහු දුන්නා ... පොත දෙන කොට මාලිකා හිටියේ ඒකිගේ හොඳම ෆ්රෙන්තා චාන්දනී එක්ක.. උන් දෙන්න ඉගෙන ගත්තේ එකම ඉස්කෝලේ ... පොත දීල තප්පරයක් ගියේ නෑ ... කෙල්ලගේ කටින් පිට  වෙච්ච වචන මට ඇහුනේ නිකන් සුනාමියක් වගේ ... "චාන්දනී ... ඔයාටත් විද්‍යා පොත ඕනි කිව්වා නේද ..ආ මෙන්න .. අද ගෙනිහින් හෙට ඉස්කෝලෙට අරන් එන්න .."


ඔන්න දැන් සාමන්තයගේ ලියුම දාපු පොත චාන්දනී ගාව ... මොකෝ උදුරන්න කියල යැ ...

දැන් වගේ කොලෙස්ටරෝල් ...ප්‍රෙෂර් ..ඒ කාලේ තිබ්බ නම් එහෙම ඇටෑක් එකක් ඇවිල්ල , කෙල්ලෝ දෙන්න ඉස්සරහම ඒ වෙලාවෙම සෙත්ත පෝච්චි වෙනවා ෂුවර් එකටම ...


සිද්ධිය දැන ගත්තා විතරයි සාමන්තය පරල උනා. "යකෝ ..ඔයිට වඩා  හොඳයි මාව මැරුව නම් ..තෝ වගේ ගොන් හරකෙක්. තොට තිබ්බනේ මාලිකාට පොත දෙද්දී ලියුම ගැන කියන්න "... බැනුම් කෝටියයි... එච්චර කල් උගේ තැටියේ තිබ්බේ "ඉන්දරේ .. උඹ නම් මගේම සහෝ කෙනෙක් ..උඹ නැත්තම් මම මේවා කොහොම කර ගන්නද ..." කියල. ලෝකේ හැටි එහෙමය..හරි යනකල් හොඳය ,,,වරදින කොට ,,ලොවෙත් නැති  වෙන්න සොරි වෙනවාය...


දැන් ඉතින් හිටපල්ලකො ඊළඟ සතියේ බදාදා විද්‍යාව පන්තිය වෙනකල් , උනේ මොකක්ද කියල දැන ගන්න... මොකෝ දැන් කාලේ වගේ sms  එකක් දාන්න  කියලද... බුකියේ චැට් එකක් දාන්න කියලද ... එහෙම නැත්තම් වයිබර් හරි ස්කයිප් පාරක් දාන්න කියලද ...ඔන්න ඉතින් කල්ප කාලාන්තරයක් ගෙවිලා ඊළඟ බදාදා උන කියමුකෝ. 


මාලිකා කිව්වා සාමන්තට  කතා කරන්න ඕනි කියල. චාන්දනී ත් ළඟ. මම ගිහින් සාමන්තයව ඇද ගෙන ආවා. "සාමන්ත , ඔයා හොඳ ළමයෙක්.. මට ඔයා ගැන අකමැත්තක් නෑ .. ඒත් මේ කාලේ අපි හිතන්න ඕනි ඉගෙන ගන්න එක ගැනයි ... මේ දේවල් ගැන හිතන්න අපිට තව ගොඩක් කල් තියනවා ...චාන්දනී ත් මේ සිද්දිය රහසක් විදිහට තියා ගනියි ... අපි ඔක්කොම හොඳ යාලුවෝ වගේ ඉම්මු " කෙල්ල හැන්ඩ්ල් කළා සිද්දිය ආයේ ලොවෙත් නැති සිරාම සිරා විදිහට. පනිවිඩෙත් පාස් වෙලා ...කොල්ල ගේ හිත රිදිලත් නෑ  ...


 ඔන්න දැන් අපි හතර දෙනාම හොඳ යාලුවෝ.. කාලේ ගත වෙලා O /L විභාගෙත් ලිව්වා..දැන් ඔන්න පන්ති වලින් ට්‍රිප් යනවා..ලෝකේ පටන් ගත්ත කාලේ ඉඳල හිටපු ඉරිසියාකාරයෝ ඒ කාලේ අපි අතරත් හිටිය. එහෙම එකෙක් මාලිකාගේ අම්මට දීල ගින්න, " මාලිකා සාමන්තයා එක්ක සෙට්. ඉන්දරේ තමයි කපු කම කරලා තියෙන්නේ" කියල . ඔන්න ඇන්ටි (මාලිකාගේ අම්ම) නිකුත් කලා රතු නිවේදනය.. ජාත්‍යන්තර පොලිසියේ වැඩ කරපු අපේ ටියුෂන් සර් ල මිස් ල හරහා. කවුරු නැතත් මං දන්නවා ඇන්ටි ගැන. නීතිඥයෝ හොය හොයා ඉන්න වෙලාවක් නෑ .. සාමන්ත්යාවත් ඇදගෙන ගියා කැමැත්තෙන්ම බාර වෙන්න.


"ආ ඉන්දරේ .. මේ සාමන්ත වෙන්න ඇති. හොඳ වෙලාවට ආවේ. නැත්තම් හෙට මම සාමන්තගේ අම්ම හම්බ වෙන්න යන්න හිටියේ. දන්නවද මම ගිහින් අහන්න හිටියේ මොකක්ද කියල..මම ගිහින් අහන්න හිටියේ.. සාමන්තගේ තාත්තා , අම්මව කසාද බැන්දේ වයස කීයෙන්ද ? අන්න ඔහේගේ පුතා නම් වයස 16 දීම මගේ කෙල්ලව අරන් ගිහින් පවුල් කන්නයි ලෑස්තිය " කියලා ...

කොහොමද ඒක .. ඔන්න ඇන්ටි අපිව මල් මාල දාලා පිලි ගත්ත විදිහ.  ගහපු පදේකුත් නෑ . බෙරේ පලු දෙකමත් නෑ  කියන්නේ ඕකට තමයි. අපිත් ඉතින් අහගෙන හිටිය නේද ඇන්ටිගේ පෝදා ධර්ම දේශනය ...සාමන්තයා දකුණු කකුලේ මාපට ඇඟිල්ලෙන් සාලේ මැද්දේ සිමෙන්තියේ වගා ලිඳක් හාරන්න ට්‍රයි කරනවා .. චන්ඩිය උනාට මොකද , මාත් හිටියේ වහලේ තැන තැන බැඳලා  තිබ්බ මකුළු දැල් වල පැටලුනු පොඩි පොඩි සත්තු ගණන් කර කර ...


හැබැයි ඉතින් එලියට බැහැල එන්න කලින් ,,මමත් ගට අරගෙන ඇන්ටි ට කිව්වා ... " ඇන්ටි , මූ අහපු එක ඇත්ත ..හැබැයි දෙන්න අතරේ ආදර සම්බන්දයක් නෑ ..හොඳ යාලුවෝ විතරයි .. හැබැයි අද ඉඳල අපි කොහොමත් මාලිකා ගෙන් ඈත්  වෙලා ඉන්නම් " කියලා ...

එදා සාමන්තයා එලියට බැහැල ආවේ, කවදම හරි වයසට ගිහිල්ල උනත් කමක් නෑ ... අම්මා තාත්තා හොයල දෙන කෙල්ලෙක් බඳිනවා මිසක් ආයේ  ලොවෙත් ලව් කරන්න නම් යන්නේ නෑ කියල හිතා ගෙන.


දැන් වෙන කොට උන් දෙන්නම තමන්ට ගැලපෙන සහකාරියෙක් , සහකරුවෙක් හොයා ගෙන සතුටින් ජීවත් වෙනවා .හැබැයි ඔය සිද්දිය දැන් කාලේ  ඉස්කෝල ජෝඩුවකට වුනා නම් එහෙම, එක්කෝ ලියුමක් ලියලා ..ලෙයින් අත්සන් කරලා ,බදාගෙන ගඟේ මූදෙ  පැනල .. නැත්තම් බර බරේ දැම්ම කියල කොල්ල ගිහින් කෙල්ලගේ අම්මට ඇසිඩ් ගහල... දැන් කාලේ අහන්න , දකින්න ලැබෙන ගොඩක් දේවල් ඒ වගේ ඛේදාන්ත නේ .. ඒ වගේ දේවල් වලට නම් කියන්න තියෙන්නේ  "අබුද්දස්ස කාලේ ලබුත් තිත්තලු රාලේ... " කියල තමයි ...