Wednesday, June 27, 2018

hitlar සඳහා පින්තුර ප්‍රතිඵල
 හිට් උන හිට්ලර් 
ජර්මනියේ උන්වත් කතා නොකරන තරමට දැන් දැන් ලංකාවේ හිට්ලර් හිට් වෙලාය. හිට්ලර් ගැන ලොකුවට දිගක් පළලක් ඉන්දරේ ගේ දැනුම් පොතේ නැති උනත්, නම කියූ පමණින් මතක් වෙන්නේ කලිසමේ චූ යන බයානක රාක්ෂයන් මරා කන පරාක්ෂයෙකුගේ චරිතයකි. මතක පොත අවුස්සද්දි ඉන්දරේගේ ළමා කාලයේ ඇසූ දුටු හිට්ලර් ලා දෙන්නෙක් ගැන පොඩි සටහනක් දාන්න හිතුන .

 එකල ඉන්දරේ ලා වයස දහතුනේ දා හතරේ කොල්ලන් ය. හැත්තෑ පහේ ඉපදුන ඉන්දරේ එවැනි වයසක හිටි කාලය අඳුනා ගැන්ම උගත් බුද්ධිමත් පාඨකයා සතුය.

දැන් මහ රෑ දොළහටත් ඔන්ලයින් ඉන්නා ඉන්දරේ, එකල හවස හය වෙන කොට ඇඳේ ය. ඒ එකල හිටි එක් හිට්ලර් කෙනෙක් ගේ නියෝගයකට අනුව සියළුම නිවෙස් වල සියලුම විදුලි පහන්... චිමිනි ලාම්පු ...කුප්පි ලාම්පු නිවා දමා පට්ටපල් කළුවරේ සිටිය යුතු නිසාය.

එකළ මෙලෝ යකෙකුට බය නැති ඉන්දරේ දන්නා වීරයා ඉන්දරේගේ තාත්තා ය .  ගමේ ම හිටි කෝටි පති හයිරන්කාරයෙක් පොල්කටු අඟුරු හදන්නට ගොස් ගමම දුමාරයෙන් වැසුනු විට, දවසින් දෙකෙන් ඒ වැඩේ නැවතුනේ තාත්තා ගොස් සද්දයක් දැමූ පසුය . පැෂන් ෆෘට් ෆැක්ටරියකින් එලියට දාන ලෙලි ගමට ගෙනත් දාන්න වූ කළ , පොලිසියටත් නවත්තන්නට බැරි වූ ඒ කුපාඩි වැඩේ නැවැත්තුවේ තාත්තාය .
එහෙව් ඩයල් එකත් ගොම්මන් හැන්දෑවේ අදුර වැටෙන කොට ලයිට් එහෙම දාන්න එපා කියල බයේ ගැහෙන කොට , ඒ අණ ආපු හිට්ලර් මොන තරම් බලගතුද කියල ඉන්දරේ ට බොහොම ලේසියෙන් වැටහුනා ...

දවසක් ඔන්න ගෙවල් ඉස්සරහ චිට් එකක් ...පහුවදා උදේ වෙද්දී කළු කොඩි දාන්න කියල ... දැන් කාලේ නම් ඔන්න "ප්‍රේ ෆොර් ...... " කියල කළු පාට කොඩියක් එක්ක බුකියේ ප්‍රොෆයිල් පික් එකක්වත් දාන්න තිබ්බ . ඒත් ඉතින් ඒ හැන්දෑවේ කළු රෙදි මොන ලෝකෙන් හොයන්ඩ ද ... අන්තිමට තාත්තා කෙලියේ ඉන්දරේ ඉස්කෝලේ ගෙනිච්ච කළු කුඩේට ... ඒකෙ රෙද්දෙන් තමයි උදේ පාන්දර කළු කොඩිය දැම්මේ...  අර සක්කරයා ගේ පුතා වයිම කිව්වත් සාදාරන හේතුවක් නැතුව කිසිම දෙයක් නොකරන තාත්තා , කොල්ල අව්වුවට වැස්සට උස්සන් යන කුඩේ කඩල දැම්ම කියහන්කෝ එළිවෙන කොට කළු කොඩි ... චිට් බෙදපු හිට්ලර් කොච්චර බලගතු වෙන්ඩ ඇද්ද ....

ජර්මනියෙන් එලියට බැහැල දැන් කියන්ඩ යන්නේ පොඩි ඌරු කතාවක් ... ඒ කාලේ ඉන්දරේ අටේ හරි නමයේ හරි පන්තියේ . ඉස්කෝලේ යනකොට එනකොට පිච්චෙන ටයර් උඩින් පැන පැන ... පිච්චෙන කකුල් කෑලි දැකල දවස් ගණන් කන්ඩ බැරුව හිටපු කාලේ .. ඒ කාලේ කොල්ලෝ අතරේ හුවමාරු උනා මාරු ෆොටෝ එකක් ... කොලේ හතර පැත්තේ ඌරො හතර දෙනෙක් . පස් වෙනි ඌරා හොයන එක තමයි ගේම. කොල්ලෝ කොලේ එහාට හරෝනව ,,මෙහාට හරෝනව... අව්වට අල්ලලා බලනවා... ලයිට් එකට අල්ලලා බලනවා .. මොන .. කොහේ ඉන්න පස් වෙනි ඌරෙක් ද ...

ඔන්න පන්තියේ හිටපු වැඩ්ඩෙක් හොයා ගත්ත සීන් එක ..කොන් හතර ගානට මිම්මට ඇතුලට නැමුවම පස් වෙනි උරාගේ මූන මතු වෙනවා ...
ඉන්දරේ ට මේක නම් පට්ටම ආතල් .. කොල්ල ගෙදර ගිය ගමන් පෙන්නුවා මේ මැජික් එක අම්මට . පහුවදා උදේ ඉන්දරේ කොලේ හොයද්දි , කොලේ නෑ ... කොල්ලට තේරුනේ නැති උනාට පස් වෙනි ඌරගේ බයානක කම අම්මට තේරිලා තිබ්බ ... අම්ම දහ අතේ දිවුරුව මම කලින් දවසේ පෙන්නුවට පස්සේ අම්ම ඒක ඇහැටවත් දැක්කේ නෑ කියල ... ඒත් අදටත් මම දන්නවා ඒ කොලේ වාෂ්ප කලේ අම්ම කියල . අම්මල කියන්නේ අම්මල ... ඒ පස් වෙනි ඌරාගේ තිබ්බේ  මම දැකපු දෙවෙනි හිට්ලර් ගෙ මූන.

පළවෙනි හිට්ලර් මළේ බොරැල්ලේ ආදාහනාගාරයේදී ...දෙවෙනි එකා මලේ පාරේ ...