Tuesday, December 26, 2017

ශිෂ්‍යත්වේ 
 
ශිෂ්‍යත්වේ කියන්නේ ළමයින්ගේ විභාගයක් නෙමෙයි, අම්මලාගේ තරඟයක් කියල කියන්නේ කට කහනවට නෙමෙයි. ඉන්දරේත් ඉතින් ඔය කියන ශිෂ්‍යත්වේ කඩයිම පහු කොලා , කල්ප කාලාන්තරයකට කළින්. හැබැයි, ඉන්දරේ ගේ අත්දැකීම ටිකක් වෙනස් පහේ එකක්. මොකෝ කියනවා නං , ඉන්දරේව අහු  උනේ අම්මලාගේ තරඟකෙට නෙමෙයි, ගුරු වරුන්ගේ තරඟේ කට. 

ඒ කාලේ ඉන්දරේ ගියේ ගම්පහ පැත්තේ ශිෂ්‍යත්වෙට ප්‍රසිද්ද ඉස්කෝලෙකට. ශිෂ්‍යත්වෙට වගේම ඒ ඉස්කෝලේ ටිචර්ලගේ කල්ලි වාදයටයි , ඒ කල්ලි අතර තිබ්බ දෙවෙනි ලෝක යුද්දෙට විතරක් වගේ දෙවෙනි වෙච්ච වලි වලටයි පට්ට ප්‍රසිද්ධයි. එක කල්ලියක  ප්‍රධාන චරිතයක් උනේ ඉන්දරේට ටිකක් දුරින් නෑදෑ වෙන නැන්ද කෙනෙක්.
කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට ඕව වැඩක් නෑ. උන් ටික ෆුල් ෆන් එකේ , ඉගෙන ගන්න වැඩත් කරගෙන පට්ට සහෝදර බැඳීමෙන් අවුරුද්දෙන් අවුරුද්ද උඩට ගියා.


තුනේ පන්තිය ට වගේ යද්දී ශිෂ්‍යත්වේ ටාගට් කරලා , ළමයි සෙට් එකක් එක ක්ලාස් එකකට ගාල් කරලා තිබ්බ. ඒ සෙට් එකේ උඩින් ම හිටියේ , මායි තව මලී කියල ගෑණු දරුවෙකුයි. අපි අපේ පාඩුවේ ෆුල් ෆිට් එකේ වැඩ ටික කරගෙන හිටියට  අර ගුරු කල්ලි දෙකට ඕනි උනේ , අපි දෙන්නව රේස් එකට දාල එළියේ ඉඳල ඔට්ටු අල්ලන්න .

ඒත් ඒ ගේම්  තේරුම් ගන්න තරම් අපි මේ ලෝකයේ නරක පැත්ත දැකල තිබ්බේ නෑ . ඉස්කෝලේ ගොඩක් පවර්ෆුල් උනේ අර නැන්ද  ටීචර් ඉන්න කල්ලිය නෙමෙයි, ඒකට විරුද්ධ කල්ලිය. අනිත් කාන්ඩේ ඒ ඇරියස් එක අල්ලන්න ගේම ඉල්ලුවේ මාත්  එක්ක.

හතරේ පන්තියේදී ඉන්දරේට හෙනහුරා පාත් වෙච්ච අවුරුද්දක්. ඉස්කෝලේ පන්තියේ හිටියට වඩා හිටියේ ඉස්පිරිතාලේ වාට්ටුවේ. පොඩ්ඩක් ට්‍රැක් පැනල ඒ කතාවත් කියන්නම්කො, ඒ කාලේ ගම්පහ ඉස්පිරිතාලේ හිටපු ළමා දොස්තරට පින් අනුමෝදන් වෙන්නත් එක්ක.


ඉන්දරේ ව මුලින් ම ඇඩ්මිට් කලේ වමනේ නවත්තන්න බැරුව. හම්මෝ , ටික දවසක් යද්දී සේලයින් කටු ගහල ඉන්දරේගේ අත් දෙකේ මැණික් කටුව පෙනෙරේ වගේ හිල් වෙලා තිබ්බේ.
වමනේ කලාට කලාට යන්ඩ දෙයක් බඩේ නෑ ..කහ පාටට පොඩ්ඩක් යනව මිසක්. අම්මයි තාත්තයි පපුවේ ගින්දරෙන් හිටියේ , ඉන්දරේ ගේ අසනීප නිසා. ඔන්න දවසක් අර ගස් වෙදා කියල අම්මලට , කොල්ලගේ බඩේ තුවාල වෙන්න ඕනි ..කහ පාටට යන්නේ සැරව කියල ..
දොස්තරගේ වචනෙට ඉහලින් මොකාව විශ්වාස කොරන්ඩ යැ . අර අහිංසක මිනිස්සු දෙන්න අතේ තියන පිච්චිය වියදම් කොරගෙන ඉන්දරේව ගෙනිච්ච කොළඹ ප්‍රයිවෙට් ඉස්පිරිතාලෙකට. 


එකේ දොස්තර බලල කියපි, පුතාට පිත යන්නේ. ඇඟ දුර්වල වෙලා. ලොකු කේස් එකක් නෑ , විවේකෙන් ඉන්ඩ  කියල. අර ගම්පහ ඉස්පිරිතාලේ ගස් වෙදා ගෙ හත් මුතු පරම්පරාවටම පින් අනුමෝදන් වෙන්න ඕනි අපිට කරපු දේට ...

ඒ කේස් එක ගොඩ දාගෙන ආපහු ඉස්කෝලේ එද්දී , අර කල්ලි දෙකේ වලි හින්ද මට ගේම දෙන්නම වෙනම පනතක් සම්මත කරගෙන. නෝර්මල් ප්‍රැක්ටිස් එක තිබ්බේ 4 පන්තිය එහෙම්මම 5 පන්තියට දානවා. අර හොඳමයි කියන පන්තියට ෆුල් ඇටෙන්ෂන්. ඉතින්  ඉන්දරෙයි අර මලි  යයි දෙන්නම 4 හිටියේ අර හොඳමයි කියන එකේ හින්ද , පොතේ හැටියට අපි දෙන්නම 5 දිත් එකම පන්තියට වැටෙන්න ඕනි .
ඒත් මුන් අපි දෙන්නටම සම්මත කර ගත්ත අලුත් පනතෙ හැටියට ඔක්කොම හොඳ ළමයි එකම පන්තියට දාන එක අසාදාරණ හින්ද බෙදල දාන්න ඕනි ලු . වැඩේ නම් ඉතින් කිසිම වැරැද්දක් නෑ ...ඒත් චේතනාව නම් ඉතින් ....
අන්තිමට මලි ය , අර හොඳමයි කියන පන්තියේ ...ඉන්දරේ අන්තිම පන්තියේ ....
නැට්ට පිටින් අලි මැරෙන එකේ , ඕව නම් මොනවාද කිව්වලු. කොල්ල පාඩුවේ වැඩ ටික කොරගෙන විභාගෙත් ලිව්වයි කියමුකෝ. ඉන්දරේ ට ඉතින් ෂුවර් හොඳ ප්‍රතිපලයක් එයි කියල. මලි යත් එකෙන්ම හොඳටම කරලා තිබ්බ. ඔන්න ඉතින් ප්‍රතිපල එන දවස. ඒ යට ගිය දවසේ , ඉන්ටර්නෙට් , ෆෝන් එස් එම් එස්  සීන් ලොවෙත් නෑ. ප්‍රින්සිපල් විභාග දෙපාර්තමේන්තුවට ගිහින් ප්‍රතිපල ලේඛනේ අරන් එනවා. ටීචර් ල ප්‍රතිපල බලල අපිට කියනවා.
ඔන්න අපේ ටීචර් ඇවිත් මගේ ඔලුව අත ගාල කිව්වා , ඉන්දරේ ඔයා හොඳට පාස්. ඉස්කොලෙටත් ආඩම්බරයක් කියල. මාත් ඉතින් එකෙන්ම ආඩම්බරෙන් පොලොවට උඩින් පාවී පාවී ආතල් එකේ ඉන්න අතරේ , අර ටීචර්  නැන්ද පොඩ්ඩ වෙඩිල්ල වගේ වාර්තා කලා මන් ලඟට. මාත් ඉතින් දත් තිස් දෙකම විරිත්තල බොහොම සන්තෝසෙන් බලන් හිටිය සුබ පතයි කියල. 


මොන.. නැන්දගේ මූණේ හිනා කඳුලක් නෑ . ලඟට ඇවිල්ල මාව උරහිස් දෙකෙන් හොල්ලල කියපි, අනේ යකෝ , තව ලකුණු තුනක් ගන්ඩ බැරි උනානේ කියල. හප්පට සිරි, පැණි වරකෙට හෙන ගහනව කියන්නේ මේවට තමයි. හඳට කිට්ටුවම උඩ ගිහින් හිටපු ඉන්දරේ, නැන්දගේ දෙලොවටම නැති කතාවෙන් පැරචුට් එක හිල් වෙච්ච කරනම් කාරයාගේ ගානට පොලොවට පාත් උනා.
දැන් ඉතින් ඉන්දරේට හිතෙන්නේ නැති දෙයක් නෑ. පන්ති බාර ටීචර් ට වැරදිලා වගේ. කොල්ල ශිෂ්‍යත්වේ  ලකුණු තුනකින් ෆේල් සීන්  එකක්. ඒකනේ නැන්ද කිව්වේ තව ලකුණු තුනක් ගන්ඩ බැරි උනානේ කියල. 


ඉස්කෝලේ ඇරෙන වෙලාවේ අම්ම ආව මාව එක්කන් යන්න. අම්මත් මගේ ඔලුව අත ගාල , ආදරෙන් ගෙදර එක්කන් යනව. කට්ටියම මගේ හිත හදන්න හදන සීන් එකක් වගේ. ගෙදර එනකන් ඉන්දරෙත් ආව සද්ද බද්ද නැතුව තද කරන් .ආපු ගමන් ඇහුව අම්මේ ඇත්තටම මම ශිෂ්‍යත්වේ පාස් ද කියල. අම්ම කියපි  ඔව් පුතේ , ඔයා ඉහලින් ම පාස් කියල,
මේ මොන අන්ඩර දෙමළයක්ද .. මම අම්මට කිව්වා අර නැන්ද ටීචර් කියපු එක. අම්ම හිනා උනා මිසක් මොකුත් කිව්වේ නෑ ...

කියෝගෙන යද්දී උගත් බුද්ධිමත් පාටක ජනතාවට තේරිලා ඇති නේ සීන් එක. ඉන්දරෙයි මාලියි දෙනන්ම උඩින්ම විභාගෙ ගොඩ.  මාලි ඉස්කෝලෙන් එක. ඉන්දරේ ලකුණු තුනක් පිටිපස්සෙන්. ඒ තරගෙන් ටීචර් ලගේ මොන කල්ලිය දිනුවද දන්නේ නෑ. හැබැයි , අදටත් මාලියි ඉන්දරෙයි පවුල් පිටින් යාලුවෝ. යාලුවෝ කියන්නේ ඉතින්, ආයේ බොක්කෙන් ම ....